by Staff writer 11-12-2020 | 4:21 PM
COLOMBO (News 1st) - පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවධානය යොමු කර ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සොයා බලන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මැතිවරණ කොමිසමට උපදෙස් දී තිබේ.
අලුතින් පත් වූ මැතිවරණ කොමිසමේ සභාපති එස්. ජී. පුංචිහේවා මහතා සහ සාමාජිකයින් අද පෙරවරුවේ කොළඹ, විජේරාමේ පිහිටි නිල නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
එහිදී අග්‍රාමාත්‍යවරයා දැනුම්දී ඇත්තේ, පැරණි හෝ නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට හැකි ඉඩකඩ සොයා බලන ලෙසයි.
මැතිවරණය පැවැත්වීමේ ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන අමාත්‍යාංශ මට්ටමින් සිදු කළ යුතු බව මැතිවරණ කොමිසමේ සාමාජිකයින් එහිදී පෙන්වා දී තිබේ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ, මෙවර පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වා ඉදිරියේදී අවශ්‍ය නීති සම්පාදනය කිරීමෙන් අනතුරුව නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම වඩා පහසු බව කොමිසමේ සාමාජිකයින්ගේ අදහස වූ බවයි.
එහිදී දැනට පවතින මැතිවරණ නීතිවලට සංශෝධන අවශ්‍ය බව පැවසූ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක අවශ්‍යතාවය ද පෙන්වාදී තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී දැනුම්දී ඇත්තේ, මේ වන විටත් තමන් ඒ පිළිබඳව කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.