Covid මෘතදේහ භූමදානයට ඇති හැකියාව සොයා බැලෙයි

කොරෝනා මෘතදේහ භූමදානයට ඇති හැකියාව සොයා බැලීමේ විශේෂ හමුවක්

by Sagarika Chathumali 11-12-2020 | 9:22 AM
COLOMBO (News 1st) : කොරෝනා වෛරසය වැළඳී මියයන ආසාදිතයිනගේ සිරුරු භූමදානය කළ හැකිදැයි සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) සාකච්ඦාවක් පවත්වා තිබේ. අග්‍රාමාත්‍යවරයා සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර මෙම විශේෂ සාකච්ඡඡාව පවත්වා ඇත්තේ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ය. සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත එම දේහයන් භූමදානය සඳහා භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියළි භූමියක් තෝරා ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් දී තිබේ. සෞඛ්‍ය බලධාරීන් එහිදී පවසා ඇත්තේ,  කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයෙකුගේ දේහය තුළ වෛරසය දින 36ක් පමණ පවතින බව සොයා ගෙන ඇති බවයි. සෞඛ්‍යට බලපාන කරුණු අරබයා ජාති හා ආගම් වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බව අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇති අතර සෞඛ්‍ය මාර්ගෝපදෙශ පිළිපැදීමට සියලු ජන කොටස්වල සහය අවශ්‍ය බව ද පෙන්වා දී තිබේ. මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යංශයයේ නිලධාරීන් පිරිසක් එක්ව සිට ඇත. ඡායාරූප : අග්‍රාමාත්‍යවරයාගේ නිල Facebook ගිණුමෙන්