ශානිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

by Staff writer 10-12-2020 | 7:08 AM

COLOMBO (News 1st) - තමාව අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා වෙනුවෙන් නීතිඥ ගෞරි තවරාසා මහත්මිය ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ඒ, කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමෙන් ශානි අබේසේකර මහතාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව පවසමිනි. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 3 ක වන්දියක් ගෙවීමට බලධාරීන්ට නියෝග කරන්නැයි පෙත්සමෙන් ඉල්ලා ඇත. ශානි අබේසේකර මහතා, රිමාන්ඩ් බන්ධනාගාරයෙන් විමර්ශන කටයුතු සඳහා හෝ වෙනත් ඕනෑම කටයුත්තක් සඳහා පිටතට ගෙන යන්නේ නම් ඔහුගේ ආරක්ෂාව තර කරන්නැයි පොලිස්පතිවරයාට නියෝගයක් කරන ලෙස ද පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, පොලිස්පතිවරයා, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා හා නීතිපතිවරයායි. මේ අතර ශානි අබේසේකර මහතාගේ ඇප ඉල්ලුම් පත ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා ඊයේ ප්‍රතික්ෂේප කළේ ය. මීට අමතරව, ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්තව සේවය කළ උපපොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් මහතාගේ ඇප ඉල්ලුම් පත ද විනිසුරුවරයා ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ය. සැකකරුවන් රිමාන්ඩ් භාරයේ සිටින්නේ, අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග යැවීම ඇතුළු චෝදනා යටතේයි. ඔවුන්ට ඇප දෙන්නැයි ඉල්ලා ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා ඇතුළු තවත් නීතිඥ කණ්ඩායමක් ඇප අයැදුම්පත් ගොනු කර තිබුණි. ඊට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා විරෝධතා ඉදිරිපත් කර තිබු අතර දෙපාර්ශවයේම කරුණු සලකා බැලු මහාධිකරණ විනිසුරුවරයා සැකකරුවන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළේ ය.