කොවිඩ් හැදු‍‍ණොත්? මොකද කරන්නේ..

කොවිඩ් හැදු‍‍ණොත්? මොකද කරන්නේ..

by Chathurika Jayasundara 09-12-2020 | 12:59 PM

COLOMBO (News 1st) : චීනයේ වූහාන්වලින් හඳුනා ගත් කොවිඩ්-19 එහෙම නැත්නම් කොරෝනා රෝගය ලොව පුරා පැතිර ගිහින් දැන් ගෝලීය වසංගතයක් වෙලා හමාරයි. කොරෝනා කාටවත් විශේෂත්වයක් දක්වන්නේ නෑ. මේ මොහොතේදී ''අපිටත් කොවිඩ් හැදුනොත් '' කියන බය අපි හැමෝගේම හිත්වල තියෙනවා. ඔබ කොච්චර සමාජෙට පොරක් වුණත් ලෙඩක් හැදුණට පස්සේ ඔබ ලෙඩෙක්. ඒ නිසා තනතුරු තාන්නමාන්න පැත්තකින් තියලා මේ ව්‍යසනයට එකාවන්ව මුහුණ දෙන්න.

Covid-19 කියද්දී සැහැල්ලුවෙන් හිතපු අපිම කාගේ හරි PCR එක පොසිටිව් කියලා කිව්වම හිත ගැස්සෙනවා. " කවුද ආශ්‍රය කරලා තියෙන්නේ '' අපේ හිතට එන කුතුහලය. එතනින් පස්සේ වෙන දේවල් ගැන තියෙන්නේ වෙනස්ම හැඟීමක්. බැරිවෙලාවත් ඔබට කොවිඩ් හැදුනොත් කොහොම වෙයි ද? එතනින් පස්සේ කරන, කියන දේවල් ගැන ඔබට අදහසක් තියෙනවා ද? සියල්ලක්ම වෙනස් වෙන්න යන්නේ තත්ත්පර ගාණක් . අද නීරෝගීව ඉන්න ඔබට , මට හෙට වෙද්දී මොනා වෙයිද කියන්න බෑ . ඒ නිසා හදිසි තත්ත්වයකට මුහුණ දෙන්න වුණොත් කියන ප්‍රශ්නාර්ථයේ ඉදලා සැලැස්මක් ඇතුව වැඩ කරන්න. Covid පොසිටිව් කියලා දැනගත්ත ගමන් ජීවිතේම කඩා වැටුණා වගේ බය වෙන්න එපා. Covid පොසිටිව් ලෙඩෙක්ව බය කරන්න යන්නත් එපා. අනේ මට Covid පොසිටිව් කියලා හතර වටේ ඇවිදලා දුක බෙදා ගන්න යන්නත් එපා. නියමිත වෛද්‍ය උපදෙස් පිළිපැදලා අදාළ රෝහලට හෝ නිරෝධායන මධ්‍යස්ථානයට අරන් යනකල් තමන්ගේ ගෙදර කාමරේටම වෙලා ඉන්න. Covid පොසිටිව් කෙනෙකුට ලැබෙන්නේ දවස් 14 ක්. ඒ ට්‍රිප් යන්න නෙමෙයි. සංචරණය සීමා කරලා රෝගය පැතිරීම වළක්වන්නයි. අදාළ රෝහලට හෝ නිරෝධායන මධ්‍යස්ථානයට යද්දී තියෙන කලබලේට වගේම බයට කිසිදෙයක් මතක් වෙන්නේ නෑ. අන්න ඒක නිසයි පෙර සූදානම වැදගත් වෙන්නේ .. ?ඔබට අත්‍යාවශ්‍යම වෙන දේවල් සූදානම් කර ගන්න... ?පොඩි දරුවෝ සහ වයසක දෙමාපියන් ඉන්නවා නම් ඒ අය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. එයාලට අත්‍යාවශ්‍යම දේවල් වෙනම සූදානම් කරන්න. බෙහෙත්, සායන පිළිබඳව විස්තර ගෙදර තවත් වැඩිහිටියෙක්ට කියලා තියන්න. විශේෂයෙන්ම කුඩා දරුවන්ට අවශ්‍ය කෑම බීම දන්නේ අම්මලා නිසා. ?ඔබට ප්‍රතිකාර ලබා ගන්න රෝහලකට හෝ නිරෝධායනයට යන්න වුණොත් තමන්ගේ ගෙදර අය අපහසුතාවයට පත්වෙයි කියලා හිතෙන තැන් කල්පනා කරලා බලන්න. විශේෂයෙන්ම ගෙදර වියහියදම් සම්බන්ධයෙන්. ?රෝහලකට හෝ නිරෝධායනයට ගියාම ඔබ ඉන්න අවශ්‍ය පිළිවෙළකුත් තියෙනවා. ඔබට ආවේනික පුරුදු , ගති ලක්ෂණ තියෙන්න පුළුවන්. ඒත් මේ වගේ තැනකට ආවම අනිත් අයට හිරිහැරයක් නොවෙන විදිහට ඉන්න කාරුණික වෙන්න. මොකද එතනදී ඔබ තනි පුද්ගලයෙක් . සියල්ලම කර ගන්න වෙන්නේ තනියම . හැබැයි වතුර උගුරකින් හරි පිහිට වෙන්න එන්නේ ඔබ අසළම ඉන්න සෞඛ්‍ය බලධාරීන්. ?නිරෝධායනය මධ්‍යස්ථානවල කෑම බීම නරකයි කියලා කෑමබීම තෝරන්න යන්න එපා. ආරක්ෂක අංශ වගේම සෞඛ්‍ය අංශත් ඔවුන්ට හැති උපරිමයෙන් හැමදේම කරනවා. ඒ දේට ගරු කරන්න. ඒ නිසා සැහැල්ලුවෙන් ජීවත් වෙන්න, සැහැල්ලුවෙන් හිතන්න. හැබැයි කොඩිව් සැහැල්ලුවට ගන්න එපා. ඔබේ, මගේ ආයු කාලය මෙච්චරක් කියලා තක්සේරු කරන්න බෑ. ඒ කොවිඩ් හින්දමත් නෙමෙයි. ඒක ලෝක ස්වභාවය..