by Staff writer 08-12-2020 | 9:00 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (Public Utilities Commission of Sri Lanka / PUCSL) සියලු සාමාජිකයින් ඉල්ලා අස් වී තිබේ.
කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වූ මහාචාර්ය කපිල පෙරේරා මහතා මේ බව තහවුරු කළේ ය.
ඔහු නිව්ස්ෆස්ට් වෙත කියා සිටියේ, තමන් ඇතුළු සාමාජිකයින් පස්දෙනා අදාළ ඉල්ලා අස්වීමේ ලිපි අද පස්වරුවේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට භාරදුන් බවයි.
කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය කිත්සිරි ලියනගේ මහතා සභාපති ධුරය දරණ කොමිසමේ, උපසභාපති ලෙස චන්ද්‍රා ඒකනායක මහත්මිය කටයුතු කළා ය.
ආචාර්ය නිශාන් ද මෙල් සහ සඳුන් ගමගේ යන මහත්ම මහත්මීන් එහි සෙසු සාමාජිකයින් වේ.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහා පත් කෙරෙන සමාජිකයන්ගේ එක් වාරයක ධුර කාලය වසර 5 ක් දක්වා බල පැවැත්වේ.
ඊට පත්වන සාමාජිකයෙකු ඉල්ලා අස්වුවහොත් හැර සාමාජික ධුරය ඉවත් කළ හැක්කේ කිසියම් විෂමාචාර ක්‍රියාවක් සම්බන්ධ චෝදනා තහවුරුවීමෙන් පසු පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනවිත් සම්මත කර ගැනීමෙන් අනතුරුවයි.
විදුලිබල ක්ෂේත්‍රයේ නියාමන වගකීම පැවරී ඇති ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා තැබීමට උපදෙස් දෙමින් ඉකුත් 01වැනිදා, දාතමින් ජනාධිපති ලේකම්වරයා මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත ලිපියක් යොමු කිරීම මේ වනවිට තරමට ආන්දෝලනයකට තුඩුදී තිබේ.
අද කොළඹදී සංවිධාන කිහිපයක් ඒකාබද්ධව කොමිසමට එල්ලවන බලපෑම් පිළිබඳව අදහස් පළ කළ අතර කැබිනට් මණ්ඩලයේදීත් මේ පිළිබඳව සාකච්ඡාවී ඇත.