රටක් කම්පා කළ මොරටුව එගොඩඋයනේ ශෝකාන්තය

by Sagarika Chathumali 08-12-2020 | 7:56 AM
COLOMBO (News 1st) : දිනය : 04.12.2020 වේලාව : 9.40ට පමණ ස්ථානය : මොරටුව එගොඩඋයන ජෝසප් පෙදෙසේ පදික මාරුව සිත් පිත් ඇති දහස් ගණන් නෙත් කඳුළින් තෙත් කරමින් මල් කැකුළු වන් දරු තිදෙනෙක් අද ලෝකය හැර ගියා. ඒ, මොරටුව, එගොඩඋයන අද එකම මළ ගෙයක් කරමින් 11 මස් වියැති රිතුසි ආකර්ශා 7 හැවිරිදි රස්මි මහිමා ඒ වගේම මේ ලෝකය දකින්නත් කලින් මුද්‍රා තබපු පෙට්ටියකින් තමන්ගෙ නිවහනට ආ නූපන් බිළිඳා අද එකට ඉරණම් ගමන ගියේ, පියෙකුට මෙළොව දරාගත නොහැකි තරමේ දුකක් ගෙන දෙමිනි. අනතුරින් තුවාල ලැබූ මවගේ කුසේ තිබූ මළ දරුගැබ ද එලෙස මුද්‍රා තබා රැගෙනවිත් තිබුණේ අවසන් ගෞරව දැක්වීම සඳහායි. මේ තුන්දෙනාම අද එකටම ඉරණම් ගමන යද්දි, ඔවුන්ගේ අම්මා රෝහල් ඇඳක යන්ත්‍රයක් මගින් ජීවිතය වෙනුවන් තවමත් සටන් කරමින් සිටිනවා. ලේ කිරට හරවා දුන් අවසන් මොහොතෙත් තම සුරතේ එල්ල ගිය දරු දෙදෙනා වගේම තමන්ගෙ ලෝකෙට අලුතෙන් එන්න සිටි නූපන බිළිඳා මේ ලෝකෙන්ම සමුගෙන ගිය වග ඇය සමහරවිට නොදන්නවා ඇති. එදා රෑ 9.40ට පමණ මේ දෙදරු ගැබිණි මව තම බිළිඳු දැරිය වඩාගෙන අනෙක් දැරියත් අතින් අල්ලාගෙන පදික මාරුවෙන් පාර මාරු වෙමින් සිටියා ඒ සුළු මොහොත ඔවුන්ගෙ ජීවිතවල ඉරනම් ගමන වෙනස් කරාවි කියලා නිවසින් එළියට බහිද්දි නිකමටවත් ඔවුන්ට නොසිතෙන්නට ඇති. ඒත් අධික වේගයෙන් ඔවුන් දෙසට ආ නොහික්මුණු යතුරුපැදිකරු නිසා පදික මාරුව මතදි ඔවුන් අනතුරට ලක් වුණා. අනතුරින් තුවාල ලැබූ දරු දෙදෙනා සහ මව පානදුර මූලික රෝහලට ඇතුළත් කළත් දැරියන් දෙදෙනා මේ ලෝකය හැර ගොස් තිබුණා යතුරුපැදිය ධාවනය කළ සැකකරුට අවුරුදු 20යි... රිතුසි සහ රස්මිගේ අහිමි වූ ජීවිත ගැන කතාබහත් නුඳුරු දිනකදී බොහෝ දෙනෙකුගේ මතකයෙන් ඈත්වී යාවි. කාරණාව නීතියට ඉදිරියට ගියත් මේ මාපිය දෙපළට හිමි වන සාධාරණය කුමක් ද? වන්දියකට පුලුවන්ද? සෙනෙහසක වටිනාකමක් තීරණය කරන්න.

කළ යුත්තේ, නොහික්මුණු මෙවනි ක්‍රියා යළි සිදු වීමට ඇති ඉඩකඩ වහා අහුරා ලීම නොවේ ද?

https://www.youtube.com/watch?v=e4nr33VshSE&feature=youtu.be