රැඳවියන්ගේ මරණ පරීක්ෂණ විද්වත් මණ්ඩලයක් ඉදිරියේ

මහර බන්ධනාගාර රැඳවියන් 11 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ බහුවිද විද්වත් මණ්ඩලයක් හමුවේ පැවැත්වීමට එකඟතාව

by Staff writer 08-12-2020 | 9:54 PM

COLOMBO (News 1st) - පසුගිය 29 වැනි දා හා 30 වැනි දා මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවෙන් මියගිය රැඳවියන් 11 දෙනාගේ මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ බහුවිද විද්වත් මණ්ඩලයක් මගින් සිදු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව හා සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය අද පස්වරුවේ වත්තල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේදී එකඟතාව පළ කර තිබේ.

මෙම බහුවිද විද්වත් මණ්ඩලයට ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධරීන් තිදෙනෙකු, ගිනි අවි විශේෂඥයෙකු වන රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු හා වෝහාරික විද්‍යා ආයතනයේ වෛද්‍යවරයෙකු ඇතුළත් වනු ඇති. නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු මත එම කමිටුව පත්කිරීම සම්බන්ධයෙන් වූ නියෝගය හෙට දිනයේදී අධිකරණය විසින් සැලකිල්ලට ගැනීමට නියමිතය. නීතිපති දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා පොලීසිය වෙනුවෙන් රජයේ නීතීඥ නිෂාරා ජයරත්න මෙනෙවිය අද අධිකරණයට මෝසමක් හරහා කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා ය. මියගිය රැඳවියන් 11 දෙනා අතරින් 8 දෙනෙකුම කොවිඩ් අසාදිතයින් බවට මේ වනවිට තහවුරුවී ඇති බැවින් රාගම රෝහලේ වෛරසය පැතිරීමේ අවදානමක් ඇති බව ඇය අධිකරණයට පෙන්වා දී තිබේ. ඇය පැවසුවේ, මියගිය රැඳවියන්ගේ මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා නීතිපතිවරයා විසින් ජ්‍යේෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරින් තිදෙනෙකු සහ ගිනි අවි විශේෂඥයෙකු ගෙන් සැදුම් ලත් කමිටුවක් පත් කිරීමට නීතිපතිවරයා නිර්දේශ කරන බවයි. ඇය තවදුරටත් කියා සිටියේ, මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය මාර්ගොපදේශවලට අනුකූළව මියගිය රැඳවියන්ගේ සිරුරු ආදාහනය කළ යුතු බවය. කෙසේවෙතත් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ විශ්වවිද්‍යාලයකට අනුබද්ධ වෛද්‍යවරයෙකු ද එම විද්වත් කමිටුවට ඇතුළත් කරන ලෙසයි. රජයේ නීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය අධිකරණයට පෙන්වාදුන්නේ එම කමිටුවට නම් යෝජනා කර ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් බවත් විශ්වවිද්‍යාලයකට අනුබද්ධ වෛද්‍යවරයෙකු ද එම විද්වත් කමිටුවට ඇතුළත් කිරීමට විරෝධය පළ කරන බවයි. කෙසේ වෙතත් මෙම මරණ පරීක්ෂණ ක්‍රියාවලිය ඉක්මන් කිරීමේ පහසුව සඳහා අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරන්නේ නම් වෝහාරික විද්‍යා ආයතනයේ වෛද්‍යවරයෙකු අදාළ කමිටුවට ඇතුළත් කිරීමට එම ආයතනයේ සභාපතිවරයාට ඉල්ලීමක් යොමු කරන බව ඇය පවසා සිටියා ය. රජයේ නීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය කියා සිටියේ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දෙසැම්බර් මස 6 වැනි දින නීතිපතිවරයාට ලිපියක් යොමු කරමින් අධිකරණයට නියෝජිත වරයෙක් යවන ලෙසට ඉල්ලීමක් කළ බව ද ඇය තවදුරටත් කියා සිටියා ය.