කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

පසුගිය පැය 24 කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

by Sagarika Chathumali 08-12-2020 | 11:01 AM

COLOMBO (News 1st) :  ඊයේ දිනය (07) තුළ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 703 දෙනෙකු වාර්තා වූ අතර ඉන් වැඩිම සංඛ්‍යාව වූ ආසාදිතයින් 371 දෙනා වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 102ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 64 දෙනෙකු හඳුනා ගෙන ඇති බවයි. ඊයේ දිනය වනවිට මෙරටින් වාර්තාවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 28,580ක් වන අතර වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 142කි. ඊයේ දිනයේ වෛරසය ආසාදිත පිරිමි පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇති අතර ඉන් එක් ආසාදිතයෙකු කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර එවීමෙන් පසු මිය ගොස් ඇත. එම ආසාදිතයාගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ, කොවිඩ් නියුමෝනියාවයි. කෙසේ වෙතත් කොළඹ ප්‍රදේශයේ අවුරුදු 62ක් වයසැති පුද්ගලයෙකු වන මොහුගේ නිශ්චිත පදිංචි ස්ථානයක් පිළිබඳ අනාවරණය වී නොමැත. අනෙක් මරණය කොළඹ 13 ජම්පටා වීදිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර 77 හැවිරිදි මොහු කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර එවීමෙන් පසු ඊයේ දිනයේදී ජීවිතක්ෂයට පත්ව ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ, කෝවිඩ් 19 ආසාදනය සහ දියවැඩියාම සමග ඇති වූ ලේ විෂවීමකි.   කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිසෙන් 20,804 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 7634 දෙනෙකු පමණි. නිරෝධායන මධ්‍යස්ථාන 64ක් තුළ මේ වනවිට පුද්ගලයින් 64 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (7) දිනය තුළ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 13,831කි.