MTV සමාගම:වාරණ නියෝග නඩුව විභාගයට

MTV පෞද්. සමාගමට එරෙහිව ජෝර්ජ් ස්ටුවට් පෞද්. සමාගම ගොනුකළ නඩුව විභාගයට..

by Staff writer 07-12-2020 | 9:27 PM

COLOMBO (News 1st) - එම්.ටී.වී. චැනල් පෞද්ගලික සමාගමට එරෙහිව ජෝර්ජ් ස්ටුවට් පෞද්ගලික සමාගම විසින් කොළඹ දිසා අධිකරණයේ ගොනුකළ නඩුව අද(07) විනිසුරුවරයාගේ නිල මැදිරියේදී විභාගයට ගැනිණි.

නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර ඇති එම්.ටී.වී. චැනල් පෞද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා තම සේවා දායකයාට එරෙහිව නිකුත් කර ඇති වාරණ නියෝගය ඉවත් කරන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පෞද්ගලික සමාගම ඒකපාර්ශවික වාරණ නියෝගයක් ලබා ගන්නා අවස්ථාවේදී අධිකරණයෙන් කරුණු සඟවා අධිකරණය නොමග යවා ඇති බවයි. තවද මෙම නඩුකරයට අත්‍යවශය පාර්ශකරුවන් නම් කර නොතිබීම සහ ද්වේශ සහගත ලෙස තම සේවාදායකයාට එරෙහිව වාරණ නියෝගයක් ලබාගෙන ඇති බවට ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. පැමිණිලිකරු විසින් යැවූ එන්තරවාසිය විත්තිකරුට ලැබීමට පෙර අධිකරණයට ගොස් එම්.ටී.වී. චැනල් පෞද්ගලික සමාගමට එරෙහිව වාරණ නියෝගයක් ගත් අයුරු පිළිබඳව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. නොවැම්බර් මස 23වැනිදා මෙම නඩුකරය ගොනුකර එදිනම එම්.ටී.වී. චැනල් පෞද්ගලික සමාගමට එරෙහිව එන්තරවාසියක් ලබාගත් නමුත් පැමිණිල්ල විසින් යවා තිබූ එන්තරවාසිය එම්.ටී.වී. චැනල් පෞද්ගලික සමාගමට ලැබුණේ නොවැම්බර් මස 24වැනිදා සවස 4.00ට බව අධිකරණයට කරුණු වාර්තා කෙරුණි. ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙන්වා දුන්නේ නිව්ස්ෆස්ට් මගින් පළ කරනු ලැබූ වාර්තා කිසිසේත්ම පැමිණිලිකරුට අපහාසයක් වන අන්දමකින් පළ කර නොමැති බවත් ප්‍රවෘත්ති විකාශයන් තුළ අඩංගු වූ කරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අනෙකුත් සංවිධානවල නියෝජිතයින් ප්‍රසිද්ධියේ කරණු ලැබූ ප්‍රකාශ බවයි. ‍‍ජෝර්ජ් ස්ටුවට් පෞද්ගලික සමාගමේ සභාපති දිලිත් ජයවීර මහතා දෙරණ මාධ්‍ය ආයතනයේ ද සභාපතිවරයා වන අතර මෙම නඩුකරයට මුවා වී ඔහු ද මෙමගින් අපහාසයට ලක්වී ඇතැයි චෝදනා කර ඇති බවත් එසේනම් ඔහු ද මෙම නඩුකරයේ පාර්ශවකරුවෙකු කළ යුතු බවට විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ පැමිණිලිකාර සමාගම විසින් ගොනු කර තිබූ දිවුරුම් ප්‍රකාශයේ ද අසත්‍ය කරුණු කිහිපයක් අඩංගුව ඇති බවත්, සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ දිවුරුම් ප්‍රකාශයක අසත්‍ය කරුණු අඩංගු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේද සඳහන්වන භාෂණයේ නිදහස යටතේ මාධ්‍ය ආයතනවලට මහජනතාවට කරුණු වාර්තා කිරීමට වගකීමක් ඇති බව අධිකරණයේදී ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙන්වා දුන්නේය. විත්තියේ නීතිඥ ඉගලහේවා මහතා අධිකරණයේදී කියා සිටියේ මෙම නඩුකරය ද්වේශසහගතව ගොනුකර ඇති අතර, මෙම නඩුකරය ගොනු කිරීමට කිසිදු නඩු නිමිත්තක් නොමැති හෙයින් අදාළ වාරණ නියෝගය ඉවත් කරන ලෙසය. අපහාස නඩුවක් ගොනු කිරීමට එන්තරවාසියක් යැවීම අනිවාර්ය නොමැති බව අදාළ කරුණු වලට පිළිතුරු දෙමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයේදී ප්‍රකාශ කළේය. ඔහු පැවසුවේ විත්තිකරුගේ ක්‍රියාකලාපයෙන් පැමිණිලිකාර සමාගමට අපහාස වී ඇති බවට ඔප්පු කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති හෙයින් මෙම වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කළ යුතු බවයි. දෙපාර්ශවයේම වාචික දේශනවලට සවන් දුන් විනිසුරුවරයා දෙසැම්බර් මස 18 වැනිදා තෙක් වාරණ නියෝගය දීර්ණ කිරීමට නියෝග කළේය. එදින විත්තියේ පාර්ශවය තම විරෝධතා ගොනු කිරීමට නියමිතය. ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා, නිතීඥ ජීවන්ත ජයතිලක, නිශ්කන් පරතලිංගම්, නිරංජන් අරුල්ප්‍රගාසම්, දමිත කරුණාරත්න, එන්.කේ.අශෝක් බරන්, මියුරු ඉගලහේවා සහ තවත් නීතිඥවරු 07 දෙනෙකු නිතිඥ ජී.ජී.අරුල්ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත විත්තියේ පාර්ශවය වන එම්.ටී..වී චැනල් පෞද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටියේය. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා හා රුවන්ත කුරේ මහතායි. ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට පෙර ඔහුගේ කණිෂ්ඨ නීතිඥවරුවන් අතර ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම නීතිඥවරයා ලෙස රුවන්ත කුරේ මහතා කටයුතු කළේය. පැමිණිල්ලේ නීතිඥයින් අධිකරණයේ පෙනී සිටියේ නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මතයි.