රේස් පදින්නන් සොයා රට පුරා මෙහෙයුම්

රේස් පදින්නන් සොයා රට පුරා මෙහෙයුම්

by Sagarika Chathumali 07-12-2020 | 3:09 PM
COLOMBO (News 1st) : රාත්‍රී කාලයේ රේස් පදින්නන් සොයා අද සිට රට පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, විනෝදාශ්වාදය සහ සිය හැකියාවන් පෙන්වීම සඳහා යතුරුපැදි හා මෝටර් රථ ධාවනයේ යෙදීමේ ප්‍රවණතාවක් දක්නට ඇති බවයි. මෙම වැටලීම්වලදී අනවශ්‍ය උපාංග සවි කර ඇති යතුරුපැදි වාහන, ශබ්ද දූෂණය ඇති කරන උපාංග සවි කර ඇති යතුරු පැදි සහ වාහන, අනවශ්‍ය ලෙස ආලෝකමත් කර ඇති වාහන සම්බන්ධයෙන් ද දැඩිව නීතිය ක්‍රියාත්මක කරනු ඇති. යම් අවස්ථාවක මෝටර් වාහන පනතේ ප්‍රතිපාදන ඉක්මවා කටයුතු කළ හැක්කේ, ගිලන් රථ, ආපදා රථ, ගිනි නිවී‌මේ රථ සහ පොලිස් රේඩියෝ කාර් රථ සඳහා පමණක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. මේ අතර ඊයේ රාත්‍රීයේ කිඹුලාවල හංදිය සහ ජයවර්ධනපුර රෝහල ආශ්‍රිත ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී යතුරුපැදි 24 ක් පොලීසිය භාරයට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතයි.