මිනුවන්ගොඩ COVID පොකුරේ මුල කොතැන ද?

මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවට කොරෝනා ආවේ කොහොම ද?

by Sagarika Chathumali 07-12-2020 | 1:58 PM

COLOMBO (News 1st) : සීදුවේ හෝටලයක නවාතැන් ගෙන සිටියදී හඳුනාගත් යුක්රේන ජාතික ගුවන්යානා කාර්ය මණ්ඩල සාමාජිකයා මගින් එම රෝහල් කාර්ය මණ්ඩලයට සහ ඒ  හරහා බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සාමාජිකයින්ට කෝවිඩ් ආසාදනය වන්නට ඇතැයි, බොහෝ දුරට අනුමාන කෙරෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසයි.

විශේෂඥ වෛද්‍යවරිය අද (07) පාර්ලිමේන්තුවේදී පැවසුවේ, කොවිඩ් 19 දෙවන රැල්ල ඇතිවීම හා ව්‍යාප්තියට අදාළ හේතු පිළිබඳ රජය හඳුනාගෙන තිබේ ද? යන්න සම්බන්ධයෙන් මන්ත්‍රී අනුර කුමාර දිසානායක කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලෙසයි. එහිදී රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ, අදාළ හෝටලයේදී ආසාදිත යුක්රේන ජාතිකයා හඳුනා ගැනීමෙන් පසු එම හෝටලයේ කාර්ය මණ්ඩලය පරීක්ෂා කිරීමේදී එහි සේවකයින් කිහිපදෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගත් බවයි. ඔවුන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කාර්ය මණ්ඩලය සමග යම් සම්බන්ධතා පැවති බවත් නිරීක්ෂණය වී ඇති බවත් ඒ අනුව ඔවුන් හරහා කර්මාන්ත ශාලාවට කොරෝනා ව්‍යාප්ත වන්නට ඇති බවට අනුමාන කෙරෙන බව ඇය වැඩිදුරටත් පැවසුවා ය. ඉදිරියේදී මෙවැනි හදිසි පොකුරක් ඇතිවීම හෝ පැතිරීම වැළැක්වීමට ගෙන ඇති පියවර පිළිබඳව ද රාජ්‍ය අමාත්‍යවරිය පැහැදිලි කළේ ය. එනම්, *අවදානම් ජන කොට්ඨාසවලට ප්‍රමුඛතාව ලබා දෙමින් රට පුරා අහඹු PCR පරීක්ෂණ සිදු කිරීම *මුහුදුබඩ ප්‍රදේශවල රෝහල්වලදී PCR පරීක්ෂණ සඳහා අහඹු නියැදි ලබා ගැනීම *විවිධ ජනමාධ්‍ය සහ සාමජ ජාල භාවිත කරමින් ජනතාව දැනුවත් කිරීම *PCR පරීක්ෂණ සිදු කරන පර්යේෂණාගාර සංඛ්‍යාව වැඩි කිරීම සහ PCR පරීක්ෂණ ධාරිතාව වැඩි කිරීම කෙසේ වෙතත් මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද (7) පාර්ලිමේන්තුවේදී පැවසුවේ, මේ වනවිට ආසාදිතයින්ගෙන් ප්‍රකාශන 100කට වඩා ලබා ගෙන ඇති නමුත් කර්මාන්ත ශාලාවට වෛරසය පැතිරී ගිය ආකාරය පිළිබඳව තවමත් අවසන් තීරණයක් නොමැති බවයි. එහි පරීක්ෂණ කටයුතු සඳහා සම්බන්ධ වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් 20 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව ඔහු එහිදී පැවසී ය. https://www.youtube.com/watch?v=DyTTh8EnS44&feature=youtu.be