ගෝල් ග්ලැඩියේටර්ස් LPL පළමු ජය ලබයි

ගෝල් ග්ලැඩියේටර්ස් LPL පළමු ජය ලබයි: ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකිං අතර තරගයට වර්ෂාවෙන් බාධා..

by Staff writer 07-12-2020 | 11:15 PM

COLOMBO (News 1st) - ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ, ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකිං කණ්ඩායම් අතර අද පැවති තරගය විසඳුමකින් තොරව අවසන් විය.

ඒ, තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙනි. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ජැෆ්නා ස්ටැලියන්ස් ක්‍රිකට් නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව, දඹුල්ල වයිකිං ඉනිම ආරම්භ කළේ, සදීර සමරවික්‍රම සමගින් නිරෝෂන් දික්වැල්ලයි. දඹුල්ල වයිකිං කණ්ඩායම පන්දුවාර 7 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 42 ක් රැස් කරගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. මේ අතර තරගාවලියේ, කලම්බෝ කිංග්ස් කණ්ඩායම සමග අද සවස පැවැති තරගය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 8 කින් ජය ගත්තේය. කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහර දුන් කලම්බෝ කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 171 ක් රැස් කළේය. දිනේෂ් චන්දිමාල් ලකුණු 35 ක් රැස් කළ අතර නායක ඇන්ජලෝ මැතිව්ස්ට රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 11 ක් පමණි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඩැනියෙල් බෙල්-ඩ්‍රමන්ඩ් ලකුණු 44 ක් රැස් කළේය. පන්දු යැවීමේදී මොහොමඩ් අමීර් ලකුණු 26 ට කඩුලු 5 ක් ලබාගත් අතර ලක්ෂාන් සඳකැන් ලකුණු 33 කට කඩුළු 3ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය. ධනුෂ්ක ගුණතිලක ලකුණු 38 ක් රැස් කළ අතර අර්ධ ශතකයක් වාර්තා කළ අහසාන් අලී ලකුණු 56 යි. නායක භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 37 ක් සහ අසාම් ඛාන් නොදැවී ලකුණු 35 ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වාර්තා කළ පළමු ජයග්‍රහණය මෙය වේ.