ප්‍රදේශ කිහිපයක හුදෙකලා තත්ත්වය ඉවතට..

අලුතෙන් හුදෙකලා කළ ප්‍රදේශ හා හුදෙකලා තත්ත්වය ඉවත් කළ ප්‍රදේශ මෙන්න...

by Staff writer 07-12-2020 | 7:40 AM

COLOMBO ( News 1st ) : අද උදෑසන 5.00 සිට ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව ඉවත් කෙරිණ.

කොළඹ දිස්ත්‍රික්කයේ බ්ලූමැන්ඩල් පොලිස් වසම සහ වැල්ලම්පිටිය පොලිස් වසමේ විජයපුර ග්‍රාම නිලධාරි වසම හුදෙකලා තත්ත්වය ඉවත් කළ ප්‍රදේශයි. කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ , මෝදර , කොටහේන , ග්‍රෑන්ඩ්පාස් , ආදුරුප්පුවීදිය ,වේල්ලවීදිය , කෙසෙල්වත්ත , මාලිගාවත්ත, දෙමටගොඩ, මරදාන යන පොලිස් වසම් තවදුරටත් හුදෙකලා ප්‍රදේශ ලෙස පවතින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි. එම මධ්‍යස්ථානය පැවසුවේ , කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරි වසම, බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරි වසම, වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ග්‍රාම නිලධාරි වසම , ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය , මට්ටක්කුලිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගසන් පාරේ දකුණු කොටස තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතින බවයි. මේ අතර කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ හුණුපිටිය ග්‍රාම නිලධාරි වසම , කුරුඳුවත්ත පොලිස් වසමේ 60 වත්ත සහ වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලා පාර අද උදෑසන 5 .00 සිට හුදෙකලා කෙරිණි. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් ද අද උදෑසන 5.00 සිට හුදෙකලා කර තිබේ. ඒ අනුව වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය, හේකිත්ත, කුරුඳුහේන, ඇවරිවත්ත සහ වැලිකඩමුල්ල යන ග්‍රාම නිලධාරි වසම් පෑලියගොඩ පොලිස් වසමේ ,පෑලියගොඩ ,පෑලියගොඩ ගඟබඩ ,මීගහවත්ත සහ පට්ටි උතුර ග්‍රාම නිලධාරි වසම් , කිරිබත්ගොඩ පොලිස් වසමේ , වෙලේගොඩ උතුර ග්‍රාම නිලධාරි වසම හුදෙකලා කළ ප්‍රදේශයි. කැලණිය , වත්තල හා පෑලියගොඩ පොලිස් වසම්වල ඉහත දැක්වූ ග්‍රාම නිලධාරි වසම් හැර සෙසු ප්‍රදේශවල හුදෙකලා තත්ත්වය ද අද උදෑසන 5 ට ඉවත් කෙරිණා. රෝගය තවදුරටත් වැළැක්වීම වෙනුවෙන් එලෙස ප්‍රදේශ හුදෙකලා කිරීමට හේතු වූ බව වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ ය.