by Staff writer 06-12-2020 | 8:31 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම (Public Utility Commission of Sri Lanka / PUCSL) වසා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා, මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතාට උපදෙස් දීම සම්බන්ධයෙන් අද කොළඹ පැවති මාධ්‍ය හමුවක දී විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදහස් දැක්විය.
ඉකුත් 01 වැනි දා තමන් මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත මෙම ලිපිය යොමු කරමින්, ජනාධිපති ලේකම්වරයා පෙන්වා දී තිබුණේ, අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ අයවැය යෝජනා අනුව යමින්, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වසා දැමීමට තමා උපදෙස් දෙන බවය.
විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා
''දැන් අගමැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආකාරයට සංශෝධනයක් තමයි සිද්ධ වෙන්නේ. එතුමා පැහැදිලිවම කතා කරාමත් කිව්වේ අයවැය ලේඛනය තුළ ප්‍රකාශ කළ ආකාරයේ සංශෝධනයක් තමයි සිද්ධ වෙන්නේ කියලා.දැන් ආචාර්ය ජයසුන්දර මැතිතුමා ඒ ආපු ලියුම අපිත් එක්ක සාකච්ඡා කරලා අපි දැනුවත් වෙලා යවපු ලියුමක් නෙවෙයි. කෙසේ වෙතත් මේකේ අවසාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ යම් නියාමනයක් අවශ්‍යයි''
2002 වසරේ පාර්ලිමේන්තු පනතකින් ස්ථාපනය කෙරෙන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමට, විදුලිබල ක්ෂේත්‍රයේ නියාමනය පැවරෙන්නේ, 2009 /අංක 20 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනතිනි.
එම පනතේ ප්‍රමුඛ අරමුණ අඩු පිරිවැය දිගු කාලීන විදුලි ජනන සැලසුම් රට තුළ ක්‍රියාත්මක කිරීමයි.
විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා
"ඒක තමයි පී.යූ.සී.එස්.එල්. එකෙන් හැම වේලාවෙම විමසා බැලුවේ. පාලනය කරේ. නියාමනය කරේ. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් ද ලිස්ට් කොස්ට් කියන ඒක අත්‍යාවශ්‍යයි අපිට ඉස්සරහට යන්න. විදුලිබල අමාත්‍යංශ්‍ය විදියට ඒ ප්‍රතිපත්තිය අපි ආරක්ෂා කර ගන්නවා. ඒ ප්‍රතිපත්තිය ආරක්ෂා කරන කොමිසම කුමක්ද කියන ආයතනය කියන සාකච්ඡාව මම විශ්වාස කරනවා මිලග කැබිනට් මණ්ඩල සාකච්ඡාවෙදි දිග හැරෙයි. අගමැතිතුමා අයවැය කතාවෙදි ඉදිරිපත් කරපු කාරණා ඒ ආකාරයෙන්ම යථාර්ථයක් වෙයි කියන එක තමයි මගේ දැඩි විශ්වාසය"
මේ අතර ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වසා දැමීමට ජනාධිපති ලේකම්වරයා උපදෙස් දීම සම්බන්ධයෙන් ලංකා විදුලි පොදු සේවක සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ කොමිෂන් සභාව වසා දැමුවහොත් ඉදිරියේදී අධික මිලට විදුලිය මිලදී ගැනීමකටත්, එහි බර පාරිභෝගිකයා මත පැටවෙන විදුලි ගාස්තු ඉහළ දැමීමකටත්, මග පාදන්නක් බැවින් එමගින් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ ද යන සැකය තම සංගමයට පවතින බවයි.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට මහජන සුබසිද්ධිය වෙනුවෙන් තීරණ ගැනීමට ලබා දුන් බලය අව භාවිත කරමින්, ජනාධිපති ලේකම්වරයා සැරසෙන්නේ ව්‍යවස්ථාදායක බලය හෑල්ලුවට ලක් කරමින් ජනාධිපතිවරයාට ඇති මහජන විස්වාසය පලුදු කිරීමටදැයි එම සංගමය ප්‍රශ්න කරයි.
සංගමය විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ විදුලි උගුල් අටවන්නන්ගේ මහා පරිමාන මංකොල්ලයට තිත තබා විදුලිබල කර්මාන්තය නිසි මග ගෙන යාම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව රැක ගැනීමට පෙරට එන ලෙසය.