අප්‍රේල් 21 ප්‍රහාරය විදෙස් ත්‍රස්ත කණ්ඩායමක පූර්ණ අධීක්ෂණය යටතේ සිදු වුවක් - හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනපති කොමිසමට කියයි

by Staff writer 06-12-2020 | 8:25 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය විදෙස් ත්‍රස්ත කණ්ඩායමක පූර්ණ අධීක්ෂණය යටතේ සිදු වූවක් බවට තමන් විශ්වාස කරන බව හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ රාත්‍රියේ අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමිනි. මෙරට බුද්ධි අංශ දුර්වල කිරීමට යහපාලන රජය කටයුතු කිරීම ද ප්‍රහාරයට හේතු වූ බව පෙන්වා දුන් රවින්ද්‍ර විජේගුණරත්න මහතා පැවසුවේ තමන්ද බුද්ධි අංශ නිලධාරීන් ආරක්ෂා කිරීමට ක්‍රියා කිරීම නිසා අදටත් ඇප මත සිටින චූදිතයෙක් බවට පත්ව සිටින බවයි. ප්‍රහාරකයින් අයි.එස්. ත්‍රස්තවාදීන් වශයෙන් තමා සලකන බව පැවසූ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පැවසුවේ බෝම්බ 6ක් එකම අවස්ථාවක පුපුරවා හැරි ලෝකයේ එකම සිද්ධිය මෙය බවයි. ලෝකයටම ත්‍රස්තවාදය ගැන කියා දුන් ශ්‍රී ලංකාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට විදේශ තොරතුරක් හරහා දැන ගැනීමට ලැබීම අගෞරවයක් බව ද රවින්ද්‍ර විජේගුණරත්න මහතා පැවසුවේය.