මියගිය රැඳවියන් 9 ක් තවමත් හඳුනා ගෙන නැහැ

මහර මියගිය රැඳවියන් 9 දෙනෙකුගේ අනන්‍යතාවය තවමත් තහවුරු වී නැහැ

by Staff writer 05-12-2020 | 5:28 PM

COLOMBO (News 1st) – මහර බන්ධනාගාරයේ කළහකාරී සිද්ධියෙන් මියගිය රැඳවියන් 11 දෙනාගෙන් 9 දෙනෙකුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වී තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ , අනන්‍යතාවය තහවුරු කර ගෙන ඇත්තේ දෙදෙනෙකුගේ පමණක් බවයි. එලෙස හඳුනා ගැනුණේ , 31 සහ 39 හැවිරිදි ජා-ඇල කළුපාලම සහ වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. මේ අතර අදත් මහර බන්ධනාගාරය ඉදිරිපිටට රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයෝ පැමිණ සිටියහ. එම ස්ථානයට මවක් පැමිණ සිටියේ බන්ධනාගාරය තුළදී මියගිය බවට අන්තර්ජාලයේ සංසරණය වෙන මිය ගිය පුද්ගලයෙකුගේ ඡායාරූපයක් ද අතැතිවයි. ඇය පැවසුවේ එම ඡායාරූපයේ සිටින පුද්ගලයා තම පුතාගේ රූපයට අතිශය සමාන බවටයි. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායම තවදුරටත් පුළුල් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ , තවත් නිලධාරීන් 8 දෙනෙකු ඒ සඳහා අනුයුක්ත කර ඇති බවයි. පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් 20 දෙනෙකුගෙන් සමන්විත එම පරීක්ෂණ කණ්ඩායම ඊයේ දිනයේත් ප්‍රකාශ සටහන් කර ගැනීම් සිදු කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.