ජැෆ්නා ස්ටැලියන්ස් අපරාජිත ගමනට තිත..

ජැෆ්නා ස්ටැලියන්ස් අපරාජිත ගමනට කලම්බො කිංග්ස් තිත තියයි..

by Chathuranga Rajapaksha 05-12-2020 | 11:54 AM
COLOMBO (news 1st): ලංකා ප්‍රිමියර් ලීග්(LPL) පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ අපරාජිත බවට තිත තැබීමට කලම්බො කිංග්ස් කණ්ඩායම සමත් විය. ඒ දෙපිල අතර ඊයේ පැවති තරගයෙන් කලම්බො කිංග්ස් කඩුලු 6ක ජයක් වාර්තා කිරිමත් සමගිනි. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් කලම්බො කිංග්ස් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ආරාධනා කළේ ය. 18 වියැති යොවුන් ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට කැඳවා තිබේ. දකුණතින් දඟ පන්දු යවන ඔහු යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යයෙකි. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරගයකට යාපනයේ උපත ලද ක්‍රීඩකයෙකු සහභාගී වූ පළමු අවස්ථාව ද මෙය වේ. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජොන්සන් චාල්ස් ද මෙම තරගයට එක්වන අතර ඔහු සමග ජැෆ්නා ස්ටැලියන්ස් ඉනිම ආරම්භ කළේ, අවිශ්ක ප්‍රනාන්දු යි. චාල්ස් ලකුණු 7කට දැවී ගියේ ය. අවිශ්ක ප්‍රනාන්දු පන්දු 23 කදී ලකුණු 26යි. ශොහීබ් මලීක් ලකුණු 8 කට දැවී ගියේ ය. මිනෝද් භානුක ලකුනු 21 යි. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 4 ලකුණු 66 කදී බිඳ වැටුණි. වනිඳු හසරංග ලකුණු 41ක් ලබා ගත්තේය. ඒ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 148ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බෝ කිංග්ස් වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 68ක් ලබා ගැනීමට සමත් විය. සිය පළමු LPL තරගයට ක්‍රීඩා කරන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ විජයකාන්ත් වියස්කාන්ත් කලම්බු කිංග්ස් නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වීම විශේෂත්වයකි. මැතිව්ස් ලකුණු 22ක් ලබා ගත්තේය. ඒ අනුව, කලම්බු කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.