ක්ෂණික කොවිඩ් පරීක්ෂණ ගැන අනාවරණයක්

ක්ෂණික කොවිඩ් පරීක්ෂණ වලින්, කෝවිඩ් ආසාදන 50%ක්ම හඳුනාගත නොහැකි බවට අනාවරණයක්..

by Staff writer 05-12-2020 | 9:20 PM

COLOMBO ( News 1st ) : ක්ෂණික කොවිඩ් පරීක්ෂණවලින් කොවිඩ්-19 ආසාදන 50 %ක්ම හඳුනාගත නොහැකි බව දි ඉන්ඩිපෙන්ඩන්ට් යූ.කේ. පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

දි ඉන්ඩිපෙන්ඩන්ට් යූ.කේ. පුවත් වෙබ් අඩවිය එලෙස වාර්තා කර ඇත්තේ, කෝවිඩ් 19 ආංශික ප්‍රවාහ පරීක්ෂණ හෙවත් කොවිඩ් 19 ක්ෂණික පරීක්ෂණවලට අදාළ එරට රජයේ විශ්ලේෂණ උපුටා දක්වමින් ය. බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාව උපුටා දක්වන එරට රජයේ ප්‍රතිපත්ති පත්‍රයට අනුව ලිවර්පූල්හි ප්‍රජා පරීක්ෂණ නියමු ව්‍යාපෘති සඳහා භාවිත කරන ආංශික ප්‍රවාහ උපාංගවලින් හඳුනාගෙන ඇත්තේ, PCR පරීක්ෂණවලින් අනාවරණය කරගත් කොවිඩ් ආසාදිතයින්ගෙන් අඩක් පමණි. එමෙන්ම බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවේ දැක්වෙන්නේ ආංශික ප්‍රවාහ උපාංග මගින් වැඩි වෛරස ප්‍රමාණයක් සහිත ආසාදිතයින්ගෙන් 10 න් 3 ක්ම හඳුනාගත නොහැකි ව ඇති බවයි. සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග විශ්වවිද්‍යාල සිසුන්ට නිවෙස්වලට යාම පටන් ගැනීමට සහ වැඩිහිටි නිවාසවල සිටින ඥාතීන් බැලීමට පවුලේ සාමාජිකයින්ට හැකි වන පරිදි ක්ෂණික පරීක්ෂණ භාවිත කිරීමට ද සංචරණවලදී සමාජ දුරස්ථභාවය අවම කිරීමට ද එක්සත් රාජධානිය පුරා සැලසුම් ක්‍රියාත්මක වූ බව දි ඉන්ඩිපෙන්ඩන්ට් යූ.කේ. පුවත් වෙබ් අඩවිය පවසයි. ක්ෂේත්‍රයේ භාවිත කරන විට ආංශික ප්‍රවාහ උපාංගවල අඩු සංවේදීතාව නිසා වැඩිහිටි නිවාසවල සිටින අයට නත්තල් කාලයේ තම ඥාතීන් සමග ආරක්ෂිතව සම්බන්ධ වීමට ඇති හැකියාව මෙන්ම සිසුන්ට තමන් නිසැකවම ආසාදිත නොමැති යැයි තහවුරු කරන්නේ කෙසේ දැයි එරට විශේෂඥයින් ප්‍රශ්න කර ඇති බව ද බ්‍රිතාන්‍ය වෛද්‍ය සගරාවේ සඳහන් ය. කෙසේ වෙතත් නිශ්චිත ලෙස රෝගීන් හඳුනා ගැනීම සඳහා ක්ෂණික කොවිඩ් පරීක්ෂණ උපකරණ අසමත් වීම නිසා රෝග ලක්ෂණ රහිත කොවිඩ් වාහකයන් විසින් එම වෛරසය වැඩිහිටි නිවාසවලට හෝ තම නිවෙස්වලට ගෙන ඒමේ අවදානම වැඩි කර ඇතැයි ද දි ඉන්ඩිපෙන්ඩන්ට් යූ.කේ. පුවත් වෙබ් අඩවියේ දැක්වෙයි. විශේෂඥයින් මෙම උපාංගවල යෝග්‍යතාවය සහ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න කර ඇති බව ද දි ඉන්ඩිපෙන්ඩන්ට් යූ.කේ. පුවත් වෙබ් අඩවිය සඳහන් කර තිබේ. බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුව - ලිවර්පූල්හි කෂේත්‍ර අධ්‍යයනයක් - මැයෙන් නිකුත් කළ ලියවිල්ලක දැක්වෙන්නේ PCR පරීක්ෂණවලින් හඳුනා ගත් ආසාදිතයින් 10 දෙනෙකුගෙන් පස් දෙනෙකු පමණක් මෙම පරීක්ෂණවලින් හඳුනාගත් බවයි. වෛරසය වැඩි ප්‍රමාණයක් ශරීරගත වූ 10 දෙනෙකු PCR පරීක්ෂණවලින් හඳුනා ගැනුණත් මෙයින් හඳුනාගත හැකි වන්නේ 7 දෙනෙකු පමණක් යැයි හෙළිව ඇති බව ද එම ලියවිල්ලේ සඳහන් ය. බර්මිංහැම් විශ්වවිද්‍යාලයේ ජෛව සංඛ්‍යානය පිළිබඳ මහාචාර්ය ජෝන් ඩීක්ස් මහතා උපුටා දක්වමින් බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාව පැවසුවේ, වෛරස් සාන්ද්‍රණය අධික අයගෙන් තුනෙන් එකක් හඳුනා ගැනීමට නොහැකි ව ඇති බැවින් අදාළ පරීක්ෂණවල ප්‍රතිඵල විනාශකාරී බවයි. වැඩිහිටි නිවාසවලට ආරක්ෂිතව ඇතුළු වීමට සෞඛ්‍ය සේවකයින්ට නැවත සේවයට පැමිණීමට හෝ සිසුන්ට නැවත අධ්‍යාපනයට යොමු වීමට මෙම පරීක්ෂණවල ප්‍රතිඵල භාවිත කරන්නේ කෙසේදැයි මහාචාර්යවරයා ප්‍රශ්න කර ඇති බවද බ්‍රිතාන්‍ය වෛද්‍ය සගරාවේ දැක්වේ. මෙම පරීක්ෂණ බ්‍රිතාන්‍යය ආණ්ඩුවේ කොවිඩ් මර්දන අරමුණුවලට නොගැලපෙන්නේ යැයි ඔහු නිගමනය කර ඇති බව ද බ්‍රිතාන්‍ය වෛද්‍ය සගරාවේ සඳහන් ය. වැඩිදුරටත් අදහස් දක්වන බර්මිංහැම් විශ්වවිද්‍යාලයේ ජෛව සංඛ්‍යානය පිළිබඳ මහාචාර්ය සහ කොවිඩ් 19 පරීක්ෂණ පිළිබඳ කොක්රාන් පර්යේෂණ සහයෝගිතාවෙහි ප්‍රධානී ජෝන් ඩීක්ස් මහතා කෙනෙකුට කොවිඩ් වැළඳී ඇත්දැයි නිශ්චය කර කර ගැනීම සඳහා මෙම පරීක්ෂණ පැවැත්වීම අනාරක්ෂිත යැයි පවසා ඇති බව දි ඉන්ඩිපෙන්ඩන්ට් යූ.කේ. පුවත් වෙබ් අඩවියේ සඳහන් ය. අදාළ පරීක්ෂණ ඔසුවක් ලෙස සලකන්නේ නම් වහාම භාවිතයෙන් ඉවත් කළ යුතු යැයි ජෝන් ඩීක්ස් මහතා පෙන්වා දී ඇති බව ද දි ඉන්ඩිපෙන්ඩන්ට් යූ.කේ. පුවත් වෙබ් අඩවිය පවසයි. රසායානාගාර ද උපයෝගී කරගෙන සිදු කෙරෙන PCR පරීක්ෂණ රන් ප්‍රමිතිය සහිත පරීක්ෂණ ලෙස සැලකෙන බවත් ඒවා සිදු කරන්නේ කොවිඩ් 19 රෝග ලක්ෂණ ඇති අයට බවත් දි ඉන්ඩිපෙන්ඩන්ට් යූ.කේ. පුවත් වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන් ය. කොවිඩ් 19 පරීක්ෂණ පිළිබඳ කොක්රාන් පර්යේෂණ සහයෝගිතාව ප්‍රධානී මහාචාර්ය ජෝන් ඩීක්ස්
"පහුගිය සති කිහිපය තුළ ප්‍රතිදේහජනක පරීක්ෂණ ගැන වැඩි වශයෙන් කතාබහට ලක් වූණා.මම හිතන විදිහට අපි මේවා සහ ක්‍රියාකාරීත්වය පිළිබදව පුළුල් අවබෝධයක් ලබා ගත යුතුයි. යම් කිසි ආසාදිතයෙකුගේ සිරුරේ වෛරස් ප්‍රමාණය ඉතා ඉහළ අගයක් දක්වා වර්ධනය වුණොත් පමණය මෙම පරීක්ෂණයෙන් කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනෙන්නේ . මේ නිසා මෙම පරික්ෂණයට භාජනය වන අයට වෛරසය ආසාදිත කාල සීමාව හා වෛරස් ප්‍රමාණය ඉතා පහළ අගයක තිබිය යුතුයි. රෝගය ශරීරගත වුණත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. එම නිසා මෙම පරීක්ෂණවලින් යම් පුද්ගලයෙකු ආසාදිතයෙකු නොවන්නේ යැයි පූර්ණ නිගමනයකට එළඹෙන්නට බැහැ. වෛරසය ආසාදිත නොවූ බවට මේ පරීක්ෂණයෙන් තහවුරු කර තිබු කිහිප දෙනෙකු සංචරණය සඳහා සූදානම් වන බවක් මට දැනගන්නට ලැබුණා. එවැනි අයට මට කියන්න තියෙන්නෙ තමන්ට ඒ රෝගය නැහැ කියන අවදානමෙන් මිදිලා ඉන්න පුළුවන් වෙන්නෙ අද හෝ හෙට විතරක් විය හැකි බවයි.ලබන සතියේ සපුරා වෙනස් දෙයක් වෙන්න පුළුවන් බවයි''
මැන්චෙස්ටර් සහ ෂෙෆීල්ඩ් ඇතුළු ඇතැම් ප්‍රදේශවල මහජන සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අධ්‍යක්‍ෂවරුන් එකී පරීක්ෂණවල නිරවද්‍යතාවය සහ භාවිත කළ යුතු ආකාරය පිළිබඳ පුහුණුව ගැන රජයෙන් වැඩිදුර තොරතුරු ලැබෙන තෙක් ක්ෂණික පරීක්ෂණ සිදු නොකරන ලෙස වැඩිහිටි නිවාසවලට ලිඛිතව දන්වා ඇති බව බ්‍රිතාන්‍ය වෛද්‍ය සගරාවේ සඳහන් ය.