මෙරට කොරෝනා ආසාදිතයින් 26000 ඉක්මවයි

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 26,038 දක්වා ඉහළට

by Staff writer 04-12-2020 | 7:54 AM

COLOMBO  (News 1st ) : මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 26038 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ , ඊයේ තවත් කොරෝනා ආසාදිතයින් 627 ක් සොයා ගැනීමත් සමගයි. ඔවුන් පෑලියගොඩ කොරොනා පොකුරේ ආශ්‍රිතයින් ය. දිවුලපිටිය සහ පෑලියගොඩ කොරොනා පොකුරෙන් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 22,488 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය . මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 6877 කි. කොරෝනා ආසාදිතයින් 728 දෙනෙකු ඊයේ සුවය ලැබූ අතර ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 19032 කි . මේ අතර තවත් කොරෝනා මරණ 5 ක් ඊයේ වාර්තා විය. එම පිරිස අතරින් එක් අයෙකු කාන්තාවක් වන අතර ඇය 56 හැවිරිදි කොළොන්නාව පදිංචිකාරියකි . මියගිය පිරිමි පුද්ගලයින් වන්නේ කොළඹ 12 පදිංචි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 10 පදිංචි 85 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 10 පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 02 පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඒ සමග මෙරට කොරෝනා ආසාදනයවීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 129 දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.