මත්පැන් කාලේ බෝතලේට තැන්පතු ගාස්තුවක් ?

මත්පැන් කාලේ බෝතලේට තැන්පතු ගාස්තුවක් ?

by Staff writer 04-12-2020 | 5:27 PM

COLOMBO (News 1st) - මත්පැන් කාලේ බෝතල් අළෙවි කිරීමේදී තැන්පතු ගාස්තුවක් අය කිරීමට තීරණය කර තිබේ.

පරිසර අමාත්‍යාංශය පැවසුවේ, අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකදී එම තීරණයට එළැඹි බවයි. කාලේ බෝතල් භාවිතය හේතුවෙන් පාරිසරික හානියක් සිදුව ඇතැයි පරිසරවේදීන් මෙන්ම විද්වතුන් පෙන්වා දෙයි. මෙරට වාර්ෂික කාලේ බෝතල් නිෂ්පාදන ධාරිතාව බෝතල් මිලියන 120 කි. ඉන් බෝතල් මිලියන 18 - 20 අතර ප්‍රමාණයක් මත්පැන් සඳහා භාවිත කෙරේ. 60 % කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි බව අනාවරණය වී ඇතැයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ ය. අයකරනු ලබන තැන්පතු ගාස්තුව කොපමණ ද යන්න මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර පරිසර අමාත්‍යාංශය අදාළ දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර ඒ පිළිබඳව නිගමනයකට එළැඹීමට නියමිතයි. මෙම තීරණය ක්‍රියාවට නැංවීමට මත්පැන් නිෂ්පාදකයින් අපොහොසත් වන්නේ නම් කාලේ බෝතල් තහනම් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදි අවධාරණය කළේ ය.