බුරවි නිසා පුද්ගලයින් 44,000 කට වැඩි පිරිසකට පීඩා

බුරවි නිසා පුද්ගලයින් 44,000 කට වැඩි පිරිසකට පීඩා...

by Staff writer 04-12-2020 | 9:08 PM

COLOMBO (News 1st) - බුරවි සුළි කුණාටුවත් සමග ඇති වූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 44,848 කි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයේ බවයි. දිවයිනේ උතුරු ප්‍රදේශය හරහා හමා ගිය බුරවි සුළි කුණාටුවෙන් උතුරු පළාතට බලපෑම් එල්ල විය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, යාපනය දිස්ත්‍රික්කයේ 31,703 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි. පුද්ගලයින් 10,559 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 56 ක රඳවා ඇත. ආපදා තත්ත්වයන්ගෙන් 6 දෙනෙකු තුවාල ලබා ඇති අතර අතුරුදන් වූ ධීවරයෙකුගේ මළ සිරුර අද උදෑසන සොයා ගැනුණේ කරෙයිනගර් ඌරි වෙරළතීරයට ගොඩගසා තිබියදීයි. 38 හැවිරිදි ඔහු වඩුක්කෝට්ටෙයිහි පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසීය. ඉස්සන් ඇල්ලීම සඳහා නොගැඹුරු මුහුදු ප්‍රදේශයේ ඇවිදමින් සිටියදී දළ රළ පහරට හසුව ඔහු අතුරුදන් වුණේ ඉකුත් 01 වැනි දායි. මේ වනවිටත් උතුරු පළාතේ වගා බිම් රැසක් ජලයෙන් යටව තිබේ. බුරවි සුළි කුණාටුව මේ වනවිට පීඩන අවපාතයක් දක්වා දුර්වල වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය. දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුර, උතුරු මැද සහ වයඹ පළාත් ඇතුළු ප්‍රදේශ කිහිපයක තවදුරටත් තද වැසි ඇතිවිය හැකි බවයි. අද පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කුරුණෑගල, පොළොන්තලාවෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 101 යි දශම 5 කි. පළුගස්වැව ප්‍රදේශයට මිලිමීටර් 45 ක් සහ වැල්ලව ප්‍රදේශයට මිලිමීටර් 71 ක් ලෙස වර්ෂාපතනය සටහන් ව ඇත. ධීවර හා ජලජ සම්පත් දෙපාර්මේන්තුවේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා පැවසුවේ, පුත්තලම සිට මන්නාරම කන්කසන්තුරේ හරහා මුලතිව් දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින ලෙස දැනුම් දෙන බවයි.