අමෙරිකානු නව ජනපතිගේ දින 100 ඉල්ලීම

'අවවාදයට වඩා ආදර්ශය උතුම් ය..' කියමනට අරුත් දී කොවිඩ් මර්දනයට සැරසෙන ජෝ බයිඩ්න්

by Sagarika Chathumali 04-12-2020 | 3:06 PM

COLOMBO (News 1st) :

'අවවාදයට වඩා ආදර්ශය උතුම් ය..'

ප්‍රකට කියමනට අරුතක් දෙමින් කොඩිඩ් 19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දායක වීමට තමා සහ උප ජනපතිනි කමලා හැරිස් සූදානම් බව තේරීපත්ව සිටින අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් පවසයි. අභිනවයෙන් පත්වීමට නියමිත ජෝ බයිඩ්න් අමෙරිකනු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, තමන් ජනපති ධුරයට පත්වීමෙන් පසු දින 100ක් මුව ආවරණ පළදින ලෙසයි. තමා සහ උප ජනපතිනිය ද ආදර්ශයක් සපයමින් මුව ආවරණ පැළඳින බව පැවසු ජෝ බයිඩ්න් වැඩිදුරත් පවසන්නේ, සියලු ජනතාව එය පිළිපැද්ද හොත් අනිවාර්යයෙන්ම එරට ආසාදිතයිනගේ සැලකිය යුතු අඩුවක් සිදු වනු ඇති බවයි. තවද බයිඩ්න් ජනපති ධුරයේ රාජකාරී ඇරඹීමෙන් පසු සියලු රාජ්‍ය ආයතනවලට ද මුව ආවරණ අනිවාර්ය කරන බව පවසා ඇත. කෙසේ වෙතත් ඇතැමුන් පවසන්නේ, ව්‍යවස්ථාවට අනුව මුව ආවරණ පළඳින ලෙස ජනතාවට නියෝග කිරිමට ජනාධිපතිවරයාට නීතිමය බලයක් නොමැති බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් බයිඩ්න් පවසා ඇත්තේ, තමා සහ උප ජනපතිනි කමලා හැරිස් ද මුව ආවරණ පළඳිමින් ආදර්ශයක් සැපයීමට සූදානම් බවයි. කොරෝනා වසංගතයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇති අමෙරිකාවෙන් ආසාදිතයින් මිලියන 14ක් වාර්තා වී ඇති අතර අහිමි වී ඇති මරණ සංඛ්‍යාව 275000කි.