BTS ජින්ට කොරියන් ආණ්ඩුවෙන් අපූරු උපන්දින තෑග්ගක්

BTS ගායක Jin ට කොරියන් ආණ්ඩුවෙන් අපූරු උපන්දින තෑග්ගක්

by Sagarika Chathumali 03-12-2020 | 10:46 AM
COLOMBO (News1st) : BTS වැනි ප්‍රමුඛ පෙළ පොප් ගායකයින්ට ද එරට අනිවාර්ය හමුදා සේවයට ඇතුළු වීමේ වයස ප්‍රමාද කර ගැනීමට අවකාශ හිමිව තිබේ. ඒ, දකුණු කොරියානු රජය සංස්කෘතික අමාත්‍යංශයේ අනුමැතිය සහිත පොප් ගායකයින්ට ද හමුදා පුහුණුව කල් දැමිය හැකි පරිදි නීති සංශෝධනය කර තිබීම හේතුවෙනි. එරට නීතියට අනුව දුබලතා රහිත සෑම තරුණයෙකුටම වයස අවුරුදු 18 ත් 28 ත් අතර කාලයේදී මාස 20ක  හමුදා සේවය අනිවාර්ය වේ. එහෙත් නව සංශෝධිත නීතිය අනුව පොප් ගායකයින්ට ද සිය හමුදා සේවය කල් දැමීමේ හැකියාව පවතී. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙය ඉදිරියේදී 28 වැනි වියට පා තැබීමට සූදානම් වන ,BTS පොප් ගායක කණ්ඩායමේ පැරණිතම සාමාජික ජින්ට උපන්දිනයට පෙර කොරියානු ආණ්ඩුව ලබා දුන් ත්‍යාගයක් ලෙසයි. BTS පොප් ගායක කණ්ඩායම පසුගියදා ග්‍රැමි සම්මාන සඳහා නිර්දේශ වූ පළමු කොරියානු පොප් ගායක කණ්ඩායම බවට පත්වීමට ද හැකි විය. මෙම සංශෝධනයට පෙර, ඉහළ මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ සම්භාව්‍ය සංගීතඥයින්ට ද හමුදා සේවා නිදහස් කිරීම් හෝ කල්දැමීමට නීතිමය අවසරය හිමිව තිබිණ.