බුරවි නිසා 12,000ක් වැඩි පිරිසක් පීඩාවට

බුරවි නිසා පීඩාවට පත් පිරිස 12,000 ඉක්මවා යයි

by Staff writer 03-12-2020 | 3:04 PM

COLOMBO (News 1st) – බුරවි සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිස්ත්‍රික්ක 6 පුද්ගලයින් 12,250 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය පැවසුවේ, 10,336 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 79 ක රඳවා ඇති බවයි. මන්නාරම, යාපනය, කිලිනොච්චිය, මුලතිව් , වවුනියාව සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලට බුරවි සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල විය. වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයේ ය. එම සංඛ්‍යාව 7,749 කි. දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 6,795 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 18 ක රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය. යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 2,986 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර ආරක්ෂිත ස්ථාන වෙත රඳවා ඇති සංඛ්‍යාව 539 කි. මුලතිව් දිස්ත්‍රික්කයේ ද පුද්ගලයින් 1149 දෙනෙකු පීඩාවට පත්ව සිටී. එම දිස්ත්‍රික්කයේ පවුල් 130 කට අයත් පුද්ගලයින් 444 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේද පුද්ගලයින් 91 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර ආරක්ෂිත ස්ථාන වෙත රඳවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 2558 කි. සුළි කුණාටුවේ බලපෑමෙන් සිව් දෙනකු තුවාල ලබා ඇති අතර යාපනය දිස්ත්‍රික්කයේ එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය. මේ අතර සුළි කුණාටුවේ බලපෑමෙන් නිවාස 15 කට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 173 කි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ , පීඩාවට පත්වූවන්ට සහ ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින පුද්ගලයින්ට සහන සැලසීමේ කටයුතු ක්‍රියාත්මක බවයි. මේ අතර බුරවි සුළි කුණාටුව මේ වනවිට දිවයිනෙන් ඉවත්ව ගොස් දකුණු ඉන්දීය වෙරළ තීරයට හමා යමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.