'බුරවි':බලාපොරොත්තු වූ තරම් හානියක් සිදු වූයේ නැහැ

"බලාපොරොත්තු වූ අකාරයේ විශාල හානියක් සිදු වූයේ නැහැ" - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

by Staff writer 03-12-2020 | 7:37 AM

COLOMBO (News 1st) - 'බුරවි' සුළි කුණාටුවෙන් තද වැසි සමග තද සුළං සහිත තත්ත්වයක් වාර්තා වුව ද බලාපොරොත්තු වූ තරම් අපදා තත්ත්වයක් වාර්තා වී නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතා පවසයි.

මේ අතර දිවයිනට ඇතුළු වූ 'බුරවි' සුළි කුණාටුව තවදුරටත් දිවයින හරහා ගමන් ගනිමින් මන්නාරම් බොක්කට ආසන්න වී තිබේ. කාලගුණ බලධාරීන් පවසන්නේ අද පෙරවරුවේ මෙම සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට ගමන් කරනු ඇති බවයි. 'බුරවි' සුළි කුණාටුව ඊයේ(02) රාත්‍රී 10.30ත් 11.30ත් අතර කාලය තුළ දිවයිනේ නැගෙනහිර වෙරළ තීරයේ කුච්චවේලි හා තිරියාය ප්‍රදේශ අතරින් ගොඩබිමට ඇතුළු වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර අද(03) අලුයම 2.30 පමණ වනවිට වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී තිබුණේ, මුලතිව්, අලම්පිල් ප්‍රදේශයෙනි. එම අගය මිලිමීටර 222 කි. ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයෙන් මිලිමීටර 200.5ක වර්ෂාපතනයක් වාර්තා වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. අද අලුයම 2.30 පමණ වන විට යාපනය ප්‍රදේශයෙන් වාර්තාවන වර්ෂාපතනය මිලීමීටර 194.3 කි. මීට අමතරව පදවිය ශ්‍රීපුර ප්‍රදේශයෙන් මිලීමීටර් 195. 5 ක්, උඩයාර්කට්ටු ප්‍රදේශයෙන් මිලීමීටර් 189ක්, හා වැලිඔය ප්‍රදේශයෙන් මිලීමීටර් 180ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මන්නාරම මිලිමීටර් 128 ක වර්ෂාපතනයක් හා ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් මිලිමීටර් 120 ක වර්ෂාපතනයක් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.