නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරුණු වනුෂිගේ මංගල කතාව..

නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරුණු ලාංකික සම්භවයක් ඇති වනුෂි වෝල්ටර්ගේ මංගල කතාව

by Staff writer 03-12-2020 | 9:18 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ ඉපිද නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත් වූ පළමුවැන්නා වන වනුෂි වෝල්ටර් මහත්මිය ඊයේ සිය මංගල කතාව පැවැත්වුවා ය.

1981 වසරේ ශ්‍රී ලංකාවේ උපන් වනුෂි වෝල්ටර් මහත්මිය පසුව නවසීලන්තයට සංක්‍රමණය වූ අතර දැන් ඇගේ වයස අවුරුදු 38 කි. ඕක්ලන්ඩ්හි අපර් හාබර් ප්‍රදේශය නියෝජනය කරමින් ඇය මෙවර නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත් විය. මංගල කතාවේදී සිංහල හා දෙමළ භාෂාද යොදා ගනිමින් කතා කළ ඇය අවධාරණය කළේ, මානව හිමිකම් සියල්ලන්ටම අයත් බවයි. නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී වනුෂි වෝල්ටර්
'' ආයුබෝවන්, වනක්කම්..ඔබ අවදි වනවිටම සුවිශේෂී මොහොතක් තිබෙනවා. එය සෑම උදෑසනකම සිදු නොවන නමුත් එය සිදුවන දිනයක යම් විශේෂ දෙයක් වීමට නියමිතයි. ඔබ එදින පළඳින නව අනන්‍යතාවට පෙර දිගු හුස්මක් ගැනීමෙන් ඒ බව හැඟී යාවි. මට එය දැනුණේ මැතිවරණයට පසුදින උදේ. මම ඉතා කෘතවේදී වනවා කම්කරු පක්ෂයෙන්, පළමු වරට මා නියෝජනය කරන මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු ආසනයක් දිනා ගැනීමට හැකි වීම ගැන. ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවීමේ භාග්‍යය මට හිමි නොවන නමුත් ශ්‍රී ලංකාවේ ඉපිද මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන පළමු මන්ත්‍රීවරිය මමයි. මම එය නිහතමානිව පවසනවා. ඒ වගේම කම්කරු පක්ෂයේ සාමාජිකාවක් වීමත් භාග්‍යයක්. අද මා මේ පාර්ලිමේන්තුවේ දකින්නෙ විවිධත්වයක්. එය අපට සේවය කිරීමට උපකාරි වෙනවා. අපගේ ඇති ලස්සන වෙනස්කම් තුළින් අපි ශ්‍රේෂ්ඨ සමානකම්ද බෙදා ගන්නවා.