Update: බුරවි සුළි කුණාටුව ගොඩබිම ආසන්නයට

Update: බුරවි සුළි කුණාටුව ගොඩබිම ආසන්නයට

by Staff writer 02-12-2020 | 7:27 PM
බුරවි සුළි කුණාටුව මේ වනවිට ගොඩබිමට ආසන්නව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ එය ඉදිරි පැය දෙක තුළ ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ගොඩබිමට ඇතුලු වෙනු ඇතැයි අපේකෂා කෙරේ. සුළි කුණාටුව සමග සුළගේ වේගය පැයට කිලෝමිටර් 80 ත් 90 ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි අතර ඇතැම් විට එය පැයට කිලෝමිටර් 100ක් දක්වා වැඩි විය හැකි බවද කාලගුණ නිවේදනයේ සදහන්. එය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම බොක්ක වෙත හෙට පෙරවරුව වනවිට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සුළි කුණාටුව හේතුවෙන් ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය දක්වා සහ පුනරීන් සිට පුත්තලම දක්වා ප්‍රදේශවල මුහුදු රළ උදම් රළ මට්ටමට වඩා මීටරයක් පමණ ඉහල යා හැකි බැවින් වෙරළාසන්න පහත් බිම් මුහුදු ජලයෙන් යටවීමේ අවදානමක්ද ඇත. මෙම පද්ධතිය හේතුවෙන් උතුර, උතුරු මැද , නැගෙනහිර, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල පැයට කිලෝමිටර් 80 ත් 100 ත් අතර ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක. උතුර, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට මිලිමිටර් 200 කට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර සෙසු පළාත්වලටද මිලිමිටර් 100 ට වැඩි වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව නැවත දැනුම්දෙනතුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධිවර හා නාවික කටයුතුවලින් වැලකී සිටින ලෙසත්, දැනට මුහුදු ගොස් ඇති කණ්ඩායම් හැකි ඉක්මනින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයකට පැමිණෙන ලෙසත් එම දෙපාර්තමේන්තුව දැනුම් දේ.