“බුරවි” සුළි කුණාටුවේ නවතම තත්ත්වය

“බුරවි” සුළි කුණාටුවේ නවතම තත්ත්වය

by Staff writer 02-12-2020 | 11:55 PM
“බුරවි” සුළි කුණාටුවේ නවතම තත්ත්වය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

මාධ්‍ය නිවේදනය

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුරවි” සුළි කුණාටුවේ කේන්ද්‍රය මේ වනවිට ගොඩබිමට ඉතා ආසන්නව, ත්‍රිකුණාමලයට ඊසාන දෙසින් 30 km පමණ දුරින් පවතින අතර එය ඉදිරි පැය දෙක තුළ මුලතිව් වලට ආසන්නව ගොඩබිමට ඇතුළුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ .කි.මී. 80-90 පමණ වන අතර විටින් විට පැ. කි.මී. 100 දක්වා වැඩි විය හැකිය. මෙය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත හෙට (දෙසැම්බර් 03) උදයවරුව වනවිට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ. මෙම තත්ත්වය යටතේ ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා සහ පූනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටර 1 ක් පමණ ඉහළයා හැකි අතර, වෙරළාසන්න පහත් බිම් මුහුදු ජලයෙන් යටවිය හැකිය. එමෙන්ම, දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මි. 100 පමණ ඉහළයාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශ විටින්විට රළු හෝ දළ රළු විය හැකිය. මෙම තත්වය හේතුවෙන් හෙට දිනයේදී (03) උතුරු , උතුරු මැද, වයඹ, මධ්‍යම හා සබරගමුව යන පළාත්වල විටින් විට පැ.කි.මී. 60 -70 දක්වා පමණ වන ප්‍රහාරාත්මක තද සුළං ද, නැගෙනහිර පළාතේ විටින් විට පැ.කි.මී. 50 -60 දක්වා පමණ වන ප්‍රහාරාත්මක තද සුළං ද සෙසු පළාත් වල විටින් විට පැ.කි.මී. 40 -50 දක්වා පමණ වන තද සුළං ද ඇති විය හැකිය. එමෙන්ම, උතුරු හා වයඹ පළාත්වල බොහෝ ස්ථානවල නිරන්තර වැසි හා ඇතැම් ස්ථානවලට මි.මී.150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකිය. දකුණු පළාතට තැනින් තැන වැසි හා මි.මී.50 ට වැඩි වැසි අපේක්ෂිතය.උතුරු මැද හා නැගෙනහිර හා සෙසු පළාත්වල විටින් විට වැසි හා ඇතැම් ස්ථානවලට මි.මී.100 ක පමණ තද වැසි ඇති විය හැකිය. නැවත දැනුම්දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටීම ඇතුලු මින් පෙර නිවේදනය කරන ලද සියලු ආරක්ෂාව සඳහා වූ නිවේදන හා උපදෙස් ඒ අයුරින්ම පිළිපදින ලෙස දැනුම් දෙනු ලැබේ. එමෙන්ම, ඉදිරියේදී ඇතිවිය හැකි අයහපත් කාලගුණික තත්ත්වය පිළබඳව විමසිලිමත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ. හදිසි තත්ත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහාය ලබාගැනීමට කටයුතු කරන ලෙසත්, මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබන දැනුවත් කිරීම් කෙරෙහි අවධානයෙන් සිටින ලෙසත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.