අවධානයෙන් පසුවන්න... ! බුරවි තවත් ළං වෙයි

UPTADE: අවධානයෙන් පසුවන්න... ! බුරවි තවත් ළං වෙයි

by Staff writer 02-12-2020 | 9:49 PM

Update (8.47 PM):  'බුරවි' සුළි කුණාටුව නැගෙනහිර වෙරළයට ඇතුළු වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

==============================================================

Update: බුරවි සුළි කුණාටුව ගොඩබිමට ඉතා ආසන්න වී ඇති බවත් ඉදිරි පැය දෙක ඇතුළත මුලතිව්වලට ආසන්නයෙන් ගොඩබිමට ඇතුළුවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

================================================================================

COLOMBO (News 1st) Update: පස්වරු 3.00 ට ලබාගත් දත්ත අනුව බුරවි සුළි කුණාටුව ත්‍රිකුණාමලයට 110 km ආසන්න වෙයි.

==============================================================

COLOMBO (News 1st) : නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බුරවි සුළි කුණාටුව මේ වනවිට නැගෙනහිර වෙරළට කිලෝමීටර් 140ක් ආසන්නයෙන් ස්ථානගතව ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, සුළි කුණාටුව අද රාත්‍රී 7ත් 10ත් අතර කාලයේදී ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව දිවයිනට ඇතුළුවිය හැකි බවයි. බුරවි සුළි කුණාටුව හෙට උදෑසන වනවිට මන්නාරම් බොක්ක වෙත ළඟා වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි. සුළි කුණාටුව හේතුවෙන් ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය දක්වා සහ පුනරීන් සිට පුත්තලම දක්වා ප්‍රදේශවල මුහුදු රළ උදම් රළ මට්ටමට වඩා මීටරයක් පමණ ඉහළ යා හැකි බැවින් වෙරළාසන්න පහත් බිම් මුහුදු ජලයෙන් යටවීමේ අවදානමක් ද පවති. මෙම පද්ධතිය හේතුවෙන් උතුර, උතුරු මැද, නැගෙනහිර, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල පැයට කිලෝමීටර් 80 ත් 100 ත් අතර ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකියි. උතුර, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට මිලිමීටර් 200 කට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර සෙසු පළාත්වලටද මිලිමීටර් 100 ට වැඩි වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නැවත දැනුම්දෙනතුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසත්, දැනට මුහුදු ගොස් ඇති කණ්ඩායම් හැකි ඉක්මනින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයකට පැමිණෙන ලෙසත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ඇත. මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කළේ, සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වන ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඒකාබද්ධව සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වන ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවයි.