UPDATE : Burevi නැගෙනහිර වෙරළට ළං වෙයි

අවධානයෙන් පසුවන්න... : නැගෙනහිර ඇතුළු පළාත් කිහිපයකට රතු අනතුරු ඇඟවීම්

by Sagarika Chathumali 02-12-2020 | 10:28 AM
COLOMBO (News 1st) : සුළි කුණාටුව නැගෙනහිර වෙරළට ආසන්න වන අවස්ථාවේදී මුහුදු රළ උදම් රළ මට්ටමට වඩා මීටර් එකක් පමණ ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝමිටර් 80 ත් 100 ත් දක්වා ඉහළ යා හැකි බවයි. ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බුරවි සුළි කුණාටුව අද සවස හෝ රාත්‍රී කාලයේදී නැගෙනහිර වෙළරින් දිවයිනට ඇතුළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. එම දෙපාර්තමේන්තුව පැවසුවේ සුළි කුණාටුව මඩකලපුව සහ පේදුරුතුඩුව ප්‍රදේශ අතරින් දිවයිනට ඇතුළු විය හැකි බවයි. දැනට එය ත්‍රිකුණාමලයට ගිනිකොන දෙසින් කිලෝමිටර් 330 ක් දුරින් නැගෙනහිරට බරව ස්ථානගත වී තිබේ. සුළි කුණාටුවත් සමග සුළඟේ වේගය පැයට කිලෝමිටර් 75- 85 ත් අතර වන අතර එය පැයට කිලෝමිටර් 95 දක්වා වරින් වර වැඩිවිය හැකි බව ද කාලගුණ නිවේදනයේ සඳහන් ය. සුළි කුණාටුව ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත හමා යනු ඇති. උතුරු, උතුරුමැද , නැගෙනහිර , වයඹ , බස්නාහිර, මධ්‍යම , සබරගමුව පළාත්වලට කාලගුණයෙන් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම ප්‍රදේශවල පැයට කිලෝමිටර් 80 ත් 100 ත් දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බවයි. උතුර, උතුරු මැද, නැගෙනහිර හා වයඹ  පළාත්වල බොහෝ ස්ථානවලට නිරන්තරයෙන් වැසි ලැබෙන අතර ඇතැම් ස්ථානවලට මිලිමිටර් 200 ට වැඩි ඉතා තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. දිවයිනේ සෙසු පළාත්වලටද මිලිමිටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එහි වැඩිදුරටත් දැක්වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධිවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසයි. මේ අතර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අවදානම් ප්‍රදේශවල සිටින ජනතාව අද පස්වරුවේ එම ප්‍රදේශවලින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල මහතා සඳහන් කළේ, පවතින සුළි කුණාටු තත්ත්වය සම්බන්ධයෙන් දිස්ත්‍රික්කයේ ජනතාව මේ වන විටත් දැනුවත් කර ඇති බවයි.