කොරෝනා මාරයාට එරෙහිව බ්‍රිතාන්‍යයෙන් ඇසෙන සුබ පුවතක්

කොරෝනා මාරයාට එරෙහිව බ්‍රිතාන්‍යයෙන් ඇසෙන සුබ පුවතක්

කොරෝනා මාරයාට එරෙහිව බ්‍රිතාන්‍යයෙන් ඇසෙන සුබ පුවතක්

කර්තෘ Sagarika Chathumali

02 Dec, 2020 | 3:50 pm

COLOMBO (News 1st) : කොරෝනා මාරයාගෙන් තොර ලොවක් වෙනුවෙන් වූ පළමු පියවර තැබීම සඳහා වන සුබ පුවත අද මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා විය.

ඒ , 95%ක සාර්ථකත්වයක් පෙන්වා ඇති Pfizer/BioNTech ඖෂධ සමාගම් විසින් නිපදවනු ලැබූ එන්නත භාවිතය  සඳහා වූ අවසරය මහා බ්‍රිතාන්‍යට හිමිවීමත් සමගයි.

ඒ අනුව මහා බ්‍රිතාන්‍ය කොරෝනා එනන්ත සමස්ත රටවැසියන් සඳහා ලබා දිමට අවසර හිමි වූ ලොව පළමු රට බවට පත්වනු ඇති.

බ්‍රිතාන්‍යයේ ඔෂධ සහ සෞඛ්‍ය නිෂ්පාදන නියාමන ඒජන්සිය පවසන්නේ, කොවිඩ් -19 රෝගයට එරෙහිව 95% ක් දක්වා ආරක්ෂාවක් සපයන මෙම එන්නත ලබන සතියේ සිට භාවිතය සඳහා අවසර ලබා දෙන බවයි.

එරට සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, වඩාත් අත්‍යවශය පිරිස ඉලක්ක කර දින කිහිපයක් ඇතුළත එන්නත් වැඩසටහන ඇරඹිය හැකි බවයි.

එක්සත් රාජධානිය දැනටමත් එන්නත් මාත්‍රා මිලියන 40 ක් ඇණවුම් කර ඇති අතර ඉන් පළමු මාත්‍රා 800,000 ඉදිරි දින කිහිපයේ එරටට ලැබෙනු ඇති.

එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවයේ ප්‍රධාන විධායක ශ්‍රීමත් සයිමන් ස්ටීවන්ස් පවසන්නේ, එරට සෞඛ්‍ය සේවය ඉතිහාසයේ විශාලතම එන්නත් වැඩසටහන දියත් කිරීමට සූදානම් වන බවයි.

එන්නත් වැඩසටහන සඳහා රෝහල් 50 ක් පමණ සූදානමින් සිටින අතර තවත් එන්නත් කිරීමේ මධ්‍යස්ථාන ආරම්භ කිරීමට ද කටයුතු සූදානම් කර ඇත.

මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, අවසානයේ ජීවිත යථා තත්ත්වයට පත් කර ආර්ථිකය යළිත් ඉදිරියට ගෙන යාමට අපට හැකි වටපිටාවක් නිර්මාණය වූ බවයි.

කෙසේවෙතත් විශේෂඥවරුන් පවසන්නේ, එන්නත ආරම්භ කළ හැකි වුවද, වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ජනතාව තවමත් සුපරීක්ෂාකාරීව සිටිය යුතු බවයි.

මේ අතර ෆයිසර් සමාගම පැවසුවේ, මෙය විද්‍යාවේ ජයග්‍රහණයක් බවයි.

මේ වනවිට කොරෝනා වෛරසය ලෝකවාසී ජනතාවගෙන් කෝටි 6කට අධික ජනතාවක් ලෙඩ ඇඳට ඇද දමමින් ලක්ෂ 14කට වැඩි ජීවිත ගණනක් බිලි ගෙන අවසන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]