මෙරටින් තවත් කොරෝනා මරණ 2ක්

කොරෝනා මරණ සංඛ්‍යාව 118 දක්වා ඉහළට

by Staff writer 01-12-2020 | 7:49 AM
COLOMBO (News 1st): මෙරටින් තවත් කොරෝනා මරණ 2ක් වාර්තා වි ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 118 දක්වා ඉහළ යනු ඇති. එලෙස මියගොස් ඇත්තේ 72 හැවිරිදි ගලහ ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකු සහ 81 හැවිරිදි අටලුගම ප්‍රදේශයේ කාන්තාවකි. ගලහ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා පසුගිය 27 වැනි දා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විට මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ඔහුගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ අධිරුධිර පීඩනය, දියවැඩියාව සහ කොරෝනා ආසාදනය සමග ඇති වු හෘදයාබාධ තත්ත්වයකි. අටලුගම ප්‍රදේශයේ පදිංචි කාන්තාව පසුගිය 28 වැනිදා සිය නිවසේදී මියගොස් තිබේ. ඇයගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා ආසාදනය සමග උග්‍ර වු අධිරුධිර පීඩනය, දියවැඩියාව සහ රුධිරගත කොලොස්ට්රෝල් ප්‍රමාණය ඉහළ යාම බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 23,987 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ තවත් කොරෝනා ආසාදිතයින් 496 දෙනෙකු හදුනා ගැනීමත් සමගයි. වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 6309කි. කොරෝනා ආසාදිතයින් 558 දෙනෙකු ඊයේ සුවය ලැබීමත් සමග මෙරට කොරෝනා සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 17560 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 20442 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. අසාදිතයින් 17560 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.