හිටි හැටියේ ම කැළඹුණු මහර බන්ධනාගාරය

UPDATE: මහර බන්ධනාගාරයේ මිය ගිය රැඳවියන් ගණන 8ක් දක්වා ඉහළට

by Sagarika Chathumali 30-11-2020 | 9:27 AM
COLOMBO (News 1st) 10.15am : මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව හේතුවෙන් මිය ගිය රැඳවියන් සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ ගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, තවත් රැඳවියන් 50 දෙනෙකු හා නියාමකයින් 2 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.

මහර බන්ධනාගාරයේ සෑබෑවටම සිදුවූයේ කුමක් ද?

COLOMBO (News 1st) 9.27am : මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවයෙන් මේ වනවිට රැඳවියන් 6 දෙනෙකු මියගොස් තවත් රැඳවියන් 40 දෙනෙකු තුවාල ලබා තිබේ. නොසන්සුන්තාවෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු ද තුවාල ලබා ඇති අතර තුවාල ලැබූ සියලු දෙනා  රාගම ශික්ෂණ රෝහල වෙත  යොමු කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, නොසන්සුන්  වූ රැඳවියන් බන්ධනාගාරයේ අතුළත දේපළ රැසක් ද විනාශ කර ඇති බවයි.

සියලු රැඳවියන් පළා යාමේ සැලසුමක් පැවති බවට අනාවරණයක්

මේ අතර මහර බන්ධනාගාරයේ සියලු රැඳවියන් පළා යාමේ සැලසුමක් පැවති බවට තොරතුරු අනාවරණය  වී ඇතැයි, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවා ය. මෙය අහඹු සිදුවීමක් ලෙස නොදකින බවත් පසුගිය සති කිහිපය තුළ වරින්වර බන්ධනාගාර කිහිපයක රැඳවියන් පලා යාමේ  උත්සහයන්හි නිරතවූූ බවත් ඇය සඳහන් කළා ය. ඇය වැඩිදුරටත් පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරන බවයි. ''බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය 3200 විතර රැඳවියන් ඉන්නවා. මේ සියලු දෙනාම එකවර පිටවන්න තමයි උත්සහය තිබුණේ. අහඹු සිදුවීමක් විදියට දකින්නේ නැහැ. මොකද පහුගිය සතිය තුළ වරින්වර බන්ධනාගාර කීපයක රැඳවියන් මේ විදියට පළා යාමට උත්සහ කළා. වහල උඩ නැගලා උද්ඝෝෂණය කෙරුවා. ඔවුන්ගේ උත්සහය මේ කොරෝනා පිට දාලා බන්ධනාගාරවල ඉන්න අයව එළියට දායි කියන බලපෑම තමයි ඔවුන් කරන්නේ. අපිට මේ සම්බන්ධයෙන් විවිධ තොරතුරු එනවා රැඳවියන් බාහිර පාර්ශව අපේ නිලධාරිනුත් මේකට සම්බන්ධයි කියලා. පුළුල් විමර්ශනයක් කරනවා'' ඊයේ පස්වරුවේ බන්ධනාගාරය තුළ මෙම නොසන්සුන්තාව හට ගත්තේ, රැඳවියන් කිහිපදෙනෙකු පලා යෑමට උත්සාහ කිරීමත් සමගයි. තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරින් බලය භාවිත කර තිබූ අතර පසුව බන්ධනාගරය අවට ආරක්ෂාව තර කිරීම සඳහා පොලීසිය ද කැඳවා තිබිණ. ඉන් පසු  පොලිස්  විශේෂ කාර්ය බලකාය කැඳවූයේ, උද්ගතව ඇති  තත්ත්වය පාලනය කිරීම සඳහායි. මේ අතර බන්ධනාගාරයේ නෙසන්සුන්තාව වාර්තාවීමත් සමග රැඳවියන්ගේ ඥාතීන් බන්ධනාගාරය අසට රැස්වූ අතර එහිදී ඔවුන් අවේගශීලිව හැසිරෙන අයුරු දැකගත හැකි විය.

උදෑසන 6.00 වනවිට තත්ත්වය

ඊයේ (29) රාත්‍රිය පුරාවටම බන්ධනාගරය දෙසින් කලකහාරී ශබ්ද මෙන්ම බන්ධනාගරය දෙසින් දූමාරයක් නිකුත් වෙමින් තිබූ බවත් අප වාර්තාකරු පැවසී ය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, මේ වන විටත් මහර බන්ධනාගාරය අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදා ඇති බවයි.