බැසිල් රාජපක්ෂට පනවා තිබූ රට ගමන් තහනම ඉවතට

ලිත් හා GI පයිප්ප නඩු : බැසිල්ට පැනවූ විදෙස් ගමන් තහනම ඉවතට

by Staff writer 30-11-2020 | 1:00 PM
COLOMBO (News 1st) : ලිත් හා GI පයිප්ප නඩු සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ මහාධිකරණයෙන් නියෝග කර තිබේ. ලිත් හා GI පයිප්ප නඩු සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණ හමුවේ, පවරා තිබු නඩු දෙකක් ද, අද කැඳවීය. ඒ විත්තියේ නිතිඥයින් මෝසම් මගින් කළ ඉල්ලීම් අනුවයි. එහිදී විත්තිකරුවන් එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම් ඉවත් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල සහ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත යන මහත්වරු නියෝග කළහ. 2015 ජනාධිපතිවරණ සමයේදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් එක් කෝටි 94 ලක්ෂයක් වැයකර දිවිනැගුම ලිත් පනස් ලක්ෂයක් මුද්‍රණය කර බෙදා හැරීම සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 365 ක් වැය කර, දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීමේ අරමුණින් මීලදී ගත් ජී අයි බට පළාත් පාලන ආයතන බෙදා හැරීමේ යන චෝදනා යටතේ, නීතිපතිවරයා එම නඩු පවරා තිබිණ. මේ අතර, සෙවිලි තහඩු නඩුවේ චෝදනාවලින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 4 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේ ය. දිවිනැගුම සහානාධාරලාභීන්ට සෙවිලි තහඩු බෙදාදීමේදි දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2991කට ආසන්න මුදලක් සාපරාධ සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 5 ක් යටතේ නඩුව පවරා තිබිණ. චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණු අනෙක් විත්තිකරුවන් වන්නේ, *දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක. *හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි. *ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක යන අයයි. 2014 වසරේ ඔක්තෝබර් 20 වන දා හෝ ආසන්න දිනකදී පොදු දේපොළ පනත යටතට ගැනෙන වැරදි සිදු කර ඇතැයි, පවසමින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබිණ. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා පෙන්වා දුන්නේ, විත්තිකරුවන් කටයුතු කර ඇත්තේ, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තු පනත යටතේ ඔවුන්ට පැවරී ඇති බලතල අනුව බැවින් මුදල් සාවද්‍ය පරිහරණයක් සිදුව නොමැති බවයි.