මහර සිදුවීම:විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට උපදෙස්

මහර සිදුවීම : විශේෂ පරීක්ෂණයක් කරන්නැයි, ආරක්ෂක ලේකම්ගෙන් පොලිස්පතිට උපදෙස්

by Staff writer 30-11-2020 | 5:15 PM

COLOMBO (News 1st) – මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන් තත්ත්වය පිළිබඳව විශේෂ විමර්ශනයක් පවත්වන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.

ආරක්ෂක ලේකම්වරයා මේ බව දැනුම් දුන්නේ, රැඳවියන් පිරිසක් පලායාමට සැලසුම් කිරීම හමුවේ හටගත් ගැටුම්කාරී තත්ත්වයෙන් පසුවයි. මෙහි මුල් අවස්ථාවේදී තත්ත්වය සමනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධ වූ නමුත් එය පාලනය කල නොහැකි තත්ත්වයක් බවට පත්වූ විට ඔවුන්ට පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරය වෙත කැඳවීමට සිදුවූ බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, අනතුරුව පැමිණි පොලීසිය , බන්ධනාගාරය අවට ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බවයි. කළහකාරී ලෙස හැසිරුණු රැඳවියන් බන්ධනාගාරයේ සෞඛ්‍ය කාර්යාලයට සහ ගබඩාවලට ගිනි තබා තිබූ අතර එම ගින්න අද උදෑසන තෙක්ම පැවති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. මේ වනවිට එම ගින්න සම්පූර්ණයෙන්ම වැඩපවත්වා ඇති අතර බන්ධනාගාරයේ දෛනික කටයුතු යළි ආරම්භ කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.