නව චක්‍රලේඛයක් නිසා රීට් පෙස්සමක් ගොනුවෙයි

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ නව චක්‍රලේඛයක් නිසා රීට් පෙස්සමක් ගොනුවෙයි

by Staff writer 29-11-2020 | 10:33 PM

COLOMBO (News 1st) - 05 / 2001 හා 02 / 2006 චක්‍රලේඛ අවංගු කරමින්, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා ඊයේ අභියාචනාධිකරණයට නව රිට් අයදුම්පතක් ගොනු කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යවරයා, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා, පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා සහ නීතිපතිවරයායි. පෙත්සම්කරු පවසන්නේ පසුගිය ජූලි 01 වැනිදා නිකුත් කළ චක්‍රලේඛයෙන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධිකාරිය යටතේ දැනට ඉතිරිව ඇති රජයේ වනාන්තර ඉඩම්, හේන් වගාව සහ වෙනත් ආර්ථිකමය අරමුණු සඳහා ඉඩ සැලසෙන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පාලනයට පවරා ඇති බවයි. නව චක්‍රලේඛයට අනුව රජයේ වනාන්තර ඉඩම් නිදහස් කිරීමේදී බැහැර කළ යුතු ක්ෂේත්‍ර ලැයිස්තුවක් සකස් කර ඇති නමුත් ජල පෝෂක ප්‍රදේශ, අලි ගමන් මාර්ග, ඓතිහාසික, සංස්කෘතික හා පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ප්‍රදේශ, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක හා සත්ත්ව විශේෂ ආරක්ෂා කිරීම සඳහා සංරක්ෂණය කළ යුතු ප්‍රදේශ ආරක්ෂා කිරීමට නව නීති බලවත් නොවන බව පෙත්සම්කරුවන් පවසයි. පෙත්සම්කාර හේමන්ත විතානගේ මහතා පවසන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙස පොල්ලෙබැද්ද- මහඔය, ලාහුගල, නිල්ගල සහ තවත් බොහෝ ප්‍රදේශවල වනාන්තර විවිධ පුද්ගලයන් විසින් අල්ලාගෙන ඇති බවයි. ඔහු ඉල්ලා සිටින්නේ, නව චක්‍රලේඛයේ සඳහන් කර ඇති තීරණ අවලංගු කරන ලෙසය. වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියේ දක්වා ඇති ආරක්ෂාව “වෙනත් රාජ්‍ය වනාන්තර” සඳහා සැපයීමට පියවර ගන්නා ලෙසත්, සීමා මායිම් ගැසට් කරන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා සිටී. අනෙකුත් රාජ්‍ය වනාන්තර තුළ ඇති වැදගත් හා සංවේදී වනාන්තර ප්‍රදේශ හඳුනා ගැනීමේ පුළුල් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්නැයි ඉල්ලා සිටින බව ද පෙත්සමේ සඳහන් වේ. චක්‍රලේඛය යටතේ ක්‍රියාත්මක වන දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හෝ වෙනත් රජයේ නිලධාරීන් විසින් ගනු ලබන තීරණ ආපසු හරනවන ලෙසද, පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.