ලබන සඳුදා සිට බස් ධාවනය යථා තත්ත්වයට...

ලබන සඳුදා සිට බස් ධාවනය යථා තත්ත්වයට...

by Staff writer 28-11-2020 | 8:03 AM

COLOMBO (News 1st) - ලබන සඳුදා (30) සිට බස් ධාවනය සාමාන්‍ය පරිදි සිදු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි මෙහෙයුම් අධිකාරි ඒ.එස්.පී වීරසූරිය මහතා පැවසුවේ, සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් ආසන සංඛ්‍යාවට පමණක් මගීන් නංවා ගැනීම සිදු කරන බවය. මේ අතර අන්තර් පළාත් බස් රථ සේවා ද ලබන සඳුදා (30) සිට සාමාන්‍ය කාලසටහන්වලට අනුව ධාවනයට එක් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් බස් සංගම් දැනුවත් කර ඇති බවය. මේ අතර කොළඹ නගරය දක්වා කාර්යාලීය ප්‍රවාහන සේවයක් ඊයේ සිට ආරම්භ කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. එහි අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ, ඒ සඳහා බස් රථ 150 ක් පමණ මේ වනවිට ධාවනයට එක් කර ඇති බවයි. සාමාන්‍ය ගාස්තු ගෙවා අදාළ බස් රථවල ගමන් කිරීමට කාර්ය මණ්ඩල සේවකයින්ට අවස්ථාව හිමිවනු ඇති.