මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍යවරිය අගමැති හමුවෙයි

මාලදිවයිනේ ආරක්ෂ අමාත්‍යවරිය සහ අගමැති අතර හමුවේදී නීතිවිරෝධී ජාවාරම් මර්දනය පිළිබඳ අවධානය..

by Staff writer 28-11-2020 | 10:00 PM

COLOMBO (News 1st) - ත්‍රෛපාර්ශවික සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතා සමුළුවට සහභාගී වීම සඳහා මෙරටට පැමිණ සිටින මාලදිවයිනේ ආරක්ෂ අමාත්‍ය මරියා අහමඩ් ඩිඩි මහත්මිය ඇතුළු දූත පිරිස ඊයේ අග්‍රාමාත්‍යවරයා හමුවි⁣ය.

එහිදී කලාපීය ආරක්ෂාවට අදාළව සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සදහන් වේ. මත්ද්‍රව්‍ය, පාතාල කල්ලි ඇතුළු නීතිවිරෝධී ජාවාරම් මර්දනය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණය සහ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමුව තිබේ. මේ අතර මාලදිවයිනේ ආරක්ෂ අමාත්‍ය මරියා අහමඩ් ඩිඩි මහත්මිය ඇතුළු දූත පිරිස ඊයේ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ද හමුවිය. ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා සහයෝගීතා ප්‍රවේශය, බුද්ධි අංශ හුවමාරු කර ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමේ මාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබේ. මේ අතර ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා හා ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අතර හමුවක් ද ඊයේ පැවැත්විය. MTT නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා ඉන්දීය බලධාරීන් දැක්වූ සහයෝගයට මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සිය කෘතඥතාව පළ කර තිබේ.