මහනුවර රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු 17කට කොරෝනා

මහනුවර රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු 17දෙනෙකුට කොරෝනා

by Staff writer 28-11-2020 | 6:53 PM

COLOMBO ( News 1st ) : මහනුවර ජාතික රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු තවත් 17 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

ඊයේ(27) දිනයේ ද වෛරසය ආසාදනය වූ හෙදියන් දෙදෙනෙකු එම රෝහලෙන් වාර්තා විය. මේ අතර වැලිපැන්න පොලීසියේ ස්ථානාධිපතිවරයාට කොරෝනා ආසාදනය වීම නිසා පොලීසියේ සෙසු නිලධාරීන් ද නිවෙස් තුළ නිරෝධායනයට ලක් කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ, එම පොලිස් ස්ථානයේ කටයුතු වෙනත් පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදු කෙරෙන බවයි. එමෙන්ම රුවන්වැල්ල, අඟුරුවැල්ලේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ, ඔහු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිත නොකර වෛද්‍ය මධ්‍යස්ථානයේ කටයුතු සිදු කර ඇතැයි හෙළිව තිබෙන බවයි. වෛද්‍යවරයා සහ ඔහුගේ බිරිඳ කොළඹ, IDH රෝහලට යොමු කර තිබේ.