බන්ධනාගාර රැඳවියන් පිරිසකට ජනපති පොදු සමාව

කොරෝනා වසංගතය හේතුවෙන් බන්ධනාගාර රැඳවියන් පිරිසකට ජනපති පොදු සමාව

by Staff writer 28-11-2020 | 7:58 AM

COLOMBO (News 1st) - කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන බන්ධනාගාරගත රැඳවියන් පිරිසකට ජනපති පොදු සමාව ලබා දී තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, ඒ අනුව රැඳවියන් 600 දෙනෙකුට පමණ ජනපති පොදු සමාව හිමිවනු ඇති බවයි. කෙසේ වෙතත් බරපතල වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත රැඳවියන් කිසිවෙකුට ජනපති පොදු සමාව හිමි නොවන බව ඔහු සඳහන් කළේ ය. නිදහස හිමිවිය යුතු බන්ධනාගාරගත රැඳවියන්ගේ නාම ලේඛන කඩිනමින් මූලස්ථානය වෙත යොමු කරන්නැයි, සියලු බන්ධනාගාර වෙත දැනුම් දුන් බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, ඉදිරි දින දෙක තුළ හඳුනා ගෙන ඇති රැඳවියන්ට ජනපති පොදු සමාව ලබා දීමට පියවර ගන්නා බවයි. මේ අතර කොවිඩ් ආසාදිතයින් හඳුනා ගෙන ඇති බන්ධනාගාරවල ඇප මත මුදා හැරෙන හෝ නිදහස ලබන රැඳවියන් දින 14 ක නිරෝධායනයෙන් පසු නිවෙස් වෙත පිටත් කර හැරීමට තීරණය කර ඇත. බන්ධනාගාර පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, නිරෝධායනය සඳහා ඔවුන් පල්ලේකැලේ සහ වීරවිල එළිමහන් සිරකඳවුරු වෙත යොමු කරන බවයි. ඔවුන් සියලු දෙනාම පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ද යොමු කෙරෙනු ඇති. මේ වනවිට වැලිකඩ, කොළඹ මැගසින්, කොළඹ රිමාන්ඩ්, මහර, කුරුවිට සහ පැරණි බෝගම්බර යන බන්ධනාගාරවලින් කොරෝනා ආසාදිතයින් හඳුනා ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.