ජනපති ට්‍රම්ප් ධවල මන්දිරය හැර යයි ද?

''ඡන්ද විද්‍යාල නියෝජිතයින් බයිඩ්න්ට ඡන්දය දෙන්නේ නම්, ධවල මන්දිරයෙන් පිටවීමට සූදානම්..''

by Sagarika Chathumali 27-11-2020 | 11:26 AM
COLOMBO (News 1st) : අමෙරිකාවේ ඡන්ද විද්‍යාල නියෝජිතයින්, ජෝ බයිඩ්න්ට ඡන්දය ලබාදෙන්නේ නම් තමන් ධවල මන්දිරයෙන් පිටවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු සඳහන් කළේ, ඡන්ද විද්‍යාල නියෝජිතයන්, ජෝ බයිඩ්න් මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස නම් කරන්නේ නම් තමා පරාජය භාරගන්නා බවයි. මෙවර ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ ජෝ බයිඩ්න්, ලබන වසරේ ජනවාරි 20 වැනි දින ධූරයේ දිවුරුම් දීමට නියමිතව තිබියදී ජනපති ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කළේ ය. අමෙරිකාවේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා තීරණය කරන මෙම නියෝජිත කණ්ඩායම ලබන මස 14 වැනිදා හමුවීමට නියමිතයි . ජෝ බයිඩ්න් ඉකුත් නොවැම්බර් 3 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් ආසන 306 ක් දිනාගනිමින් ජයගත් අතර ජනපති ට්‍රම්ප් දිනාගත්තේ ආසන 232ක් පමණි. ජනප්‍රියත්වය සඳහා වන ජන්දයෙන් ද ජෝ බයිඩ්න් ඡන්ද මිලියන 6 කට වැඩි සංඛ්‍යාවකින් පෙරමුණේ පසුවේ. මැතිවරණ දූෂණ සිදුවූ බව පවසන අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් මෙතෙක් සිය පරාජය පිළිගෙන නොමැත.