ඉතියෝපියානු යුද කලාපයෙන් ලාංකිකයින් 38ක් මුදා ගැනේ

ඉතියෝපියානු යුද කලාපයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් මුදා ගැනේ

by Sagarika Chathumali 27-11-2020 | 9:03 AM
COLOMBO (News 1st) : ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයේ සිරව සිටි ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙකු මුදා ගත් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉතියෝපියාවේ තානාපති කාර්යාලය විසින් මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස යුද කලාපයෙන් මුදා ගනු ලැබ ඇති බවයි. ශ්‍රී ලාංකිකයන් සහ තවත් රටවල් ගණනාවකට අයත් විදේශිකයන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂිත රිය පෙළකින් ටයිග්‍රේ සිට අඩිස් අබාබා වෙත රැගෙන ගොස් තිබේ. ඉතියෝපියාවේ ඇඟලුම් කර්මාන්තයේ සේවය කරමින් සිටි ලාංකිකයින් පිරිස ඉදිරියේදී මෙරටට ගෙන්වා ගැනීමට නියමිතයි. ඉතියෝපියානු රජය 2020 නොවැම්බර් 4 වැනි දින ටයිග්‍රේ කලාපයේ හමුදා මෙහෙයුම් ආරම්භ කළ අතර යටත්වන ලෙස ටයිග්‍රේ සටන්කාමීන්ට ඉතියෝපියා රජය ලබාදුන් කාලය ඊයෙන් අවසන් විය. ඉතියෝපියාවේ ටයිග්‍රේ ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ හමුදා ක්‍රියාන්විතයේ අවසන් අදියර අරඹන බව එරට අග්‍රාමාත්‍ය ඇබී අහමඩ් ඊයේ ප්‍රකාශ කළ අතර ඔහු සඳහන් කළේ, ටිග්රායි පළාතේ ප්‍රධාන නගරයට ප්‍රහාරයක් එල්ලකරමින් මෙය අරඹන බවයි. හමුදාව ටයිග්‍රේ සිවිල් වැසියන්ට හානි කිරීමෙන් වැළකී මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ප්‍රයත්න දරන බවට පැවසු ඉතියෝපියානු අග්‍රාමාත්‍යවරයා , නිවෙස් තුළට වී සිටින ලෙස නගරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ ය.