එන්තරවාසියට, MTV චැනල් වෙතින් පිළිතුරු ලිපියක්

MTV චැනල් පුද්ගලික සමාගම රු. බිලියන 20 ක වන්දි ඉල්ලා ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් සමාගමේ එන්තරවාසියට පිළිතුරු ලිපියක් යවයි

by Staff writer 26-11-2020 | 6:41 PM

COLOMBO (News 1st) – සීමාසහිත ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගම තම නීතිඥයින් හරහා එවූ එන්තරවාසියට සීමාසහිත MTV චැනල් පුද්ගලික සමාගම තම නීතිඥ ජී.ජී.අරුල්ප්‍රගාසම් මහතා හරහා අද පිළිතුරක් යවා තිබේ.

එම පිළිතුරු ලිපියේ සඳහන් කර තිබෙන්නේ සීමාසහිත ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගමේ වැරදි , අයුක්ති සහ ද්වේෂ සහගතව නඩු පැවරීම හේතුවෙන්, සීමාසහිත MTV චැනල් පුද්ගලික සමාගමට සිදුවූ හානි හා පාඩු වෙනුවෙන්, රුපියල් බිලියන 20 ක වන්දි ඉල්ලා පෙරළා නඩු පවරන බවයි. සීමාසහිත MTVචැනල් පුද්ගලික සමාගමට එරෙහිව සීමාසහිත ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගම ඒකපාර්ශවීය වාරණ නියෝගයක් ලබාගැනීම පිළිබඳව, පසුගිය 23 වැනිදා නිවුස්ෆස්ට් වාර්තා කළේ ය. එම වාරණ නියෝගයේ සඳහන් වන්නේ, සීමාසහිත MTV චැනල් පුද්ගලික සමාගම සීමාසහිත ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගමට, එහි සභාපතිවරයාට හෝ, එහි ප්‍රමුඛ සේවකයින්ට එරෙහිව, අපහාස කිරීම්වලින් වැළකී සිටිය යුතු බවයි. එම වාරණ නියෝගය පැනවුණේ, ශ්‍රී ලංකාවට රැපිඩ් ඇන්ට්ජන්ට් ටෙස්ට් කිඩ් නැතහොත් ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල ආනයනයට අදාළවයි. කොළඹ දිසා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සීමාසහිත ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගම සීමාසහිත MTV චැනල් පුද්ගලික සමාගමට එරෙහිව ඒකපාර්ශවීය වාරණ නියෝගයක් ලබාගන්නේ, අදාළ එන්තරවාසිය MTV චැනල් පුද්ගලික සමාගමට කුරියර් මගින් ලැබෙන්නට පෙර බවද, නිව්ස්ෆස්ට් වැඩිදුරටත් වාර්තා ක‌ළේ ය.