අමෙරිකානු ජනතාවට නව බලාපොරොත්තුවක්

''බේද අවසන් කර සටනට සැරසෙන්න...'' - ජෝ බයිඩ්න්

by Sagarika Chathumali 26-11-2020 | 1:58 PM
භේදකාරී කාල පරිච්ඡේදය අවසන් කරමින් කොවිඩ් - 19 වසංගතය පරාජය කිරීමේ සටනට සූදානම් වන ලෙස ජෝ බයිඩ්න් අමෙරිකානු ජනතාවගෙන් ඉල්ලා සිටී. අභිනවයෙන් තේරීපත් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශයක් සිදු කරමින් පවසා ඇත්තේ, අමෙරිකානුවන් වන අපට යුද්ධය ඇත්තේ, වෛරසය සමග මිස එකිනෙකා සමග නොවන බවයි. තව ද භේදකාරී කාල පරිච්ඡේදය ආලෝකයේ හා එකමුතුවේ වසරකට මග පාදනු ඇතැයි, තමන් තරයේ විශ්වාස කරන බව ද ජනපති ධුරයේ දිවුරුම් දීමට නියමිත නව ජනාධිපතිවරයා පවසා ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, වසංගත තත්ත්තවය හේතුවෙන් අමෙරිකානුවන්ට වේදනාව, අලාභය සහ කලකිරීම මෙන්ම වටිනා ජීවිත ද අහිමි වූ බව ජනාධිපතිවරයාගේ  එම ප්‍රකාශයේ සඳහන් ව ඇති බවයි. වෛරසය පරාජය කර ජීවිත සාමන්‍ය තත්ත්වයට පත් කරන බවට පොරොන්දු වී ඇති බයිඩ්න් සියලු දෙනාගේ ඉල්ලා ඇත්තේ උත්සාහය දෙගුණ තෙගුණ කරමින් සටනට කැප විය යුතු බවයි. කෝප ගන්වමින් , එකිනෙකාට විරුද්ධවාදීන් කරමින් ජනතාව බෙදා වෙන් කළ කොරෝනා සටනින් මේ වනවිට සියලු අමෙරිකානුවන් වෙහෙසට පත්ව සිටින බවත් නිසි වේලාවට වෛරසය ප්‍රහාරයට ලක්වනු ඇති බව ත් බයිඩ්න් වැඩිදුරටත් පවසා ඇත. මේ අතර ජනපති ට්‍රම්ප් තවදුරටත් සිය ආධාරකරුවන් දිරි ගන්වමින් සිටින්නේ, පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල යළි හැරවීමට කටයුතු කරන ලෙසයි. පෙන්සිල්වේනියාවේ රිපබ්ලිකන් ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයින් සිංවිධානය කළ වැඩසටහනක් සමග ධවල මන්දිරයේ සිට දුරකතනය ඔස්සේ සම්බන්ධ‌ වෙමින් ජනපති ට්‍රම්ප් පවසා ඇත්තේ, ජනාධිපතිවරණ ප්‍රතිඵල වෙනුවෙන් තවදුරටත් සටන් කළ යුතුව ඇති බවයි. ජනාධිපතිවරයා එම අවස්ථාව සඳහා සහභාගී වීමට නියමිතව සිටිය ද ඔහුගේ නීතිඥවරයෙකුගේ සහයකයින් දෙදෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් එම ගමන අවලංගු විය. ප්‍රධාන ප්‍රාන්ත කිහිපයක ඡන්ද ප්‍රතිඵලවල අභියෝගයට ලක් කරමින් ජනපති ට්‍රම්ප් නීතිය හමුවට ගිය ද එම ප්‍රතිඵලවලින් ද ඔහු පාරාජයට පත්වෙමින් සිටින පසුබිමකදී ජනාධිපතිවරණය ජයගත් බයිඩ්න් ජනවාරි 20 වන දා ජනපති තනතුර භාර ගැනීම සඳහා වන කටයුතුවලට ප්‍රවේශ වෙමින් සිටී. බයිඩ්න් පසුගිය අඟහරුවාදා රාජ්‍ය ලේකම් සහ ජාතික ආරක්ෂක උපදේශක ඇතුළු සිය ප්‍රමුඛ පෙළ පරිපාලන නිලධාරීන් 6 දෙනෙකු නම් කළ අතර එළැඹෙන සතියේදී තවත් නිලධාරීන් පිරිසක් නම් කිරීමට නියමිතයි. මේ අතර ජනාධිපතිවරණය අවසන්ව සති දෙකක් ගතව වුවත් ලොව ප්‍රමුඛ පෙළ නායකයින් ජෝ බයිඩ්න්ට සුබ පැතුම් එක් නොකළ අතර විදසේ මාධ්‍ය වාර්තා කරන්නේ, ප්‍රතිඵල අර්බූදය අවසන් වනතුරු ඔහුට සුබ පැතුම් එක් නොකරනු ඇති බවයි. කෙසේ වෙතත් ඊයේ දිනයේ චීන ජනාධිපති ෂි ජින්පින් අභිනව අමෙරිකානු ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කර තිබේ. මේ වනවිට ලොව වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් 60,721,235 දෙනා අතරින් ආසාදිතයින් 13,138,204ක් ම වාර්තා වන්නේ, අමෙරිකාවෙන් වන අතර එරටින් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 268,221කි.