"නිවාර්" තමිල්නාඩුවට කඩා වදී

නිවාර් සුළි කුණාටුව තමිල්නාඩුවට කඩා වදී

by Staff writer 26-11-2020 | 8:22 AM

News 1st - නිවාර් සුළි කුණාටුව ඉන්දියාවේ, ‍තමිල්නාඩු ප්‍රාන්තයට කඩා වැදී තිබේ.

ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන් සඳහන් කළේ, පැයට කිලෝමීටර් 135 ක සුළං වේගයකින් පුදුචේරි සහ තමිල්නාඩු වෙරළ හරහා හමාගිය නිවාර්හි ප්‍රබලත්වය මේ වනවිට දුර්වලව ඇති බවයි. එය ඉදිරි පැය 6 තුළ ඉන්දියාවේ උතුරු සහ වයඹදිග ප්‍රදේශ කරා හමායමින් තවදුරටත් ප්‍රබලත්වයෙන් අඩු වනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන් වාර්තා කර ඇත. 5 වන කාණ්ඩයේ ප්‍රබල සුළි කුණාටුවක් වන නිවාර් හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ එකහමාරකට ආසන්න පිරිසක් පහත් බිම් වෙතින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ. මේ හමුවේ අද දින රජයේ නිවාඩුවක් ප්‍රකාශයට පත් කිරීමට ද තමිල්නාඩු ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක රැසක් පියවර ගත්තේ ය. අධික වර්ෂාව සහ දැඩි සුළං හේතුවෙන් චෙන්නායි ගුවන්තොටුපොළ සහ මෙට්‍රෝ දුම්රිය සේවා ද අත්හිටවුවා තිබේ. මේ හේතුවෙන් අද දින දක්වා වර්ෂාපතනය ලැබෙනු ඇතැයි චෙන්නායි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.