නවසීලන්තයට ගිය පකිස්ථාන කණ්ඩායමේ 6කට කොරෝනා

නවසීලන්තයට ගිය පකිස්ථාන ක්‍රීඩකයින් 6කට කොරෝනා, කණ්ඩායමේ පුහුණුව ත් අත්හිටුවයි

by Sagarika Chathumali 26-11-2020 | 3:09 PM
COLOMBO (News 1st) : නවසීලන්තයේ සංචාරයක නිරත පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 6 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි, තහවුරු වී තිබේ. නවසීලන්ත සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ආසාදිත ක්‍රීඩකයින් 6 දෙනාම නිරෝධායනය සඳහා යොමු කර කණ්ඩායමට පුහුණුවීම් සඳහා ලබා දී තිබී අවසරය ද අත්හිටුවා ඇති බවයි. මෙම ක්‍රීඩකයින් 6 දෙනා කොවිඩ් ආසදිතයින් ලෙස හඳුනා ගෙන ඇත්තේ, නවසීලන්ත සෞඛ්‍ය නිලධාරීන් විසින් එරටට පැමිණි 53ක් වූ පකිස්ථාන සංචිතයේ සියලු සාමාජිකයින් කොවිඩ් පරීක්ෂාවට ලක් කරනු ලැබීමෙන් අනතුරුවයි. නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ, පකිස්ථාන කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙකු කොරෝනා මර්දන නීති කඩකරමින් හැසිරෙන අයුරු CCTV දර්ශන ඔස්සේ නිරීක්ෂණය කර ඇති බවත් මේ වනවිට ඔවුන්ට අවසන් අවවාදාත්මක දැනුම් සිදු කර ඇති බවත් ය. මේ අතර මෙම මස මුල් භාගයේ නවසීලන්තයේ සංචාරයක නිරත වූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් හෝටල් කාමරවලට සීමා කරමින් පුහුණුවීම්  තහනමකට ලක් කෙරුණේ, එකිනෙකා කෑම වර්ග බෙදා හදා ගැනීම් සහ මුසුවීම් මගින් එරට හුදකලා නීති රීති කඩ කරන අයුරු CCTV දර්ශන ඔස්සේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි. මේ අතර පකිස්ථාන ක්‍රිකට් බලධාරීන් පවසන්නේ, පකිස්ථානයේ ලාහෝර් නුවරින් පිටත් විමට පෙර සියලු සාමාජිකයින් සිව් වතාවත් කොවිඩ් පරික්ෂාවට ලක් කළ බවයි. පකිස්ථාන කණ්ඩායම නවසීලන්තයේදී ටෙස්ට් තරග 2ක් සහ 20යි 20 තරග 3කට සහභාගීවීමට සැලසුම් කර තිබේ. මේ අතර නවසීලන්තය කොවිඩ් වසංගතය සාර්ථකව මර්දනය කිරීම සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රසංශාවට ලක්වූ ප්‍රධාන පෙළේ රටක් වන අතර එරටින් වාර්තා වී ඇත්තේ, කොවිඩ් ආසාදිතයින් 2,040 ක් පමණක් වන අතර වාර්තා වන්නේ, මරණ 25ක් පමණි. පකිස්ථානයේ කොරෝනා වෛරස ආසාදිතයින් 356,198ක් වාර්තාවී ඇති අතර වාර්තාවන මරණ සංඛ්‍යාව 7,843කි.