හිටපු ජනපති මෛත්‍රීගෙන් සාක්ෂි විමසා අවසන්

21 ප්‍රහාරය විදේශීය හස්තයකින් මෙහෙය වූ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවට බරපතල සැකයක් ඇතැයි හිටපු ජනපති කොමිසම හමුවේ කියයි

by Staff writer 25-11-2020 | 4:06 PM
COLOMBO (News 1st) : අප්‍රේල් 21 ප්‍රහාරය කිසියම් විදේශීය හස්තයක් ඔස්සේ මෙහෙය වූ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් යැයි තමාට බරපතල සැකයක් පවතින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කියා සිටියේ ය. ඒ, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අවසන් දිනට සාක්ෂි ලබාදෙමිනි. දින 8 ක් පුරා හිටපු ජනාධිපතිවරයාගෙන් කොමිෂන් සභාව හමුවේ සාක්ෂි විමසීම සිදු කරනු ලැබුවේ ය. හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, 2019 වසරට පෙර සිට මෙවැනි ප්‍රහාරයක් එල්ලවීමේ ප්‍රවණතාවක් පැවැති බව පසුව අනාවරණය වූ බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානි රවී සෙනෙවිරත්න මහතා කොමිසම හමුවේ ලබා දුන් සාක්ෂියකින් ද ඒ බව තවදුරටත් සනාථ වන්නෙ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ඔහු කියා සිටියේ, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විදේශ බුද්ධි අංශ ගණනාවක් මෙරටට පැමිණ විමර්ශනය සිදු කළ නමුත් ප්‍රහාරය පිටුපස සිට එය මෙහෙයවනු ලැබූ පාර්ශව කවුද යන්න අනාවරණය කර ගැනීමට අපොහොසත් වූ බවයි. පසුව සිදු කළ විමර්ශනයවලදී මීට පෙර ද එවැනි ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ නමුත් 2019 වසරේ අදාළ කාල සීමාවේදීම මෙම ප්‍රහාරයන් එල්ල කිරීමට කටයුතු කිරීම හමුවේ එම සැකය ඉස්මතු වන බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ය. ඔහු කියා සිටියේ, කිසියම් ත්‍රස්තවාදී සංවිධානයක නායකයකු ප්‍රහාරයකින් මරාගෙන මැරෙන තත්ත්වයට පත් නොවන බවයි. ඒ අනුව සහරාන් හෂීම් ඇතුළු පිරිස කිසියම් කණ්ඩායමක් විසින් හිතාමතාම මෙහෙයවා ඇතැයි තමා විශ්වාස කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ය. මේ අතර ආරම්භක දිනයේ මෙන්ම අවසන් දිනය වන අදත් කොමිෂන් සභාවේ සාක්ෂි ලබාදීම සඳහා තමන් පැමිණියේ ඉතාමත් සතුටින් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ ය. ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ තමා විසින්ම මෙම කොමිසම ස්ථාපිත කළ බව පැවසූ ‌මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ, ඉදිරියටත් කොමිසමේ කටයුතු සඳහා ඕනැම සහයක් ලබාදීමට සූදානම් බවයි. මෙම ඛේදවාචකයට අදාළව සත්‍ය සොයා ගැනීම් වෙනුවෙන් කැපවන කොමිෂන් සභාවේ සියලු දෙනාට සිය ගෞරවය හිමි වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ ය.

හිටපු ජනපති මෛත්‍රී 8 වන දිනටත් කොමිසම හමුවට

COLOMBO (News 1st) : හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අට වන දිනටත් අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් සිටී. අද පෙරවරුවේ හිටපු ජනාධිපතිවරයාගෙන් හරස් ප්‍රශ්න විමසනු ලැබුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ඩිල්ෂාන් ජයසුරිය මහතායි. මේ අතර අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ තමුන් අසත්‍ය සාක්ෂි ලබා දුන් බවට කල යෝජනා තරයේ ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ ය. ඒ ඊයේ පස්වරුවේ එම කොමිසම හමුවේ ඇසු හරස් ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි. එහිදි හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා යෝජනා කළේ, මෙත්‍රිපාල සිරිසේන මහතා 2019 වසරේ අප්‍රේල් 16 වැනිදා විදෙස්ගත වූයේ බරපතළ රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ගැනීමට යැයි, පැවසීම සමපූර්ණ අසත්‍යක් බවටයි. අප්‍රේල් 16 වැනිදා විදේශගත වු හිටපු ජනාධිපතිවරයා, පළමුව ඉන්දියාවේ තිරුපති කෝවිලෙ පැවැති ආගමික කටයුතුවලට සම්බන්ධ වී, අප්‍රේල් 17 වැනිදා සිංගප්පුරුව බලා පිටත්ව ගොස් තිබේ. ඒ අනුව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ, බරපතළ අසනීප තත්ත්වයක් තිබුණේ නම්, විශාල වශයෙන් ජනතාව ගැවසෙන තිරුපති වන්දනාවේ නොගොස් ප්‍රතිකාර ගැනිමට සිංගප්පූරුව බලා සෘජුව පිටත්ව යාමට හැකියාව තිබූ බවයි. එසේ නොකර තිරුපති වන්දනාවේ ද ගොස්, ඉන් අනතුරුව සිංගප්පූරුව බලා පිටත්ව ගියේ බරපතල රෝගි තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ගැනීමට නොව, සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණ සිදු කර ගැනීමට නොවන්නේ දැයි හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා යෝජනා කළේ ය. ඊට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ තමුන් එම යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. අප්‍රේල් 21 ප්‍රහාරය එල්ල වු දිනයේ උදැසන තමා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වුයේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබමින් සිටි නිසා බවට හිටපූ ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ද සත්‍යතාවයෙන් තොර බවට කළ යොජනාව ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කළේ ය. මේ අතර නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා ඊයෙ රාත්‍රියේ දෙවන දිනටත් අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදුන්නේ ය. ඔහු කියා සිටියේ තමුන්ට 2015 වසරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි විම පිළිබඳ සහරාන් හෂීම් දැඩි විරොධයක් පළ කළ බවයි. තමුන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිමි විම නිමිත්තෙන් කාත්තන්කුඩි ප්‍රදේශයේ පැවැති උත්සවයකදී ඊට විරොධය පලකල සහරාන් හෂීම් ඇතුලු පිරිසක් සමග ගැටුමක් ඇති වු බව හිස්බුල්ලා මහතා කියා සිටිියේ ය. එම ගැටුමෙන් තුවාල ලැබු සහරාන් හෂීම් ගෙ සොහොයුරා වන,රිල්වාන්ගෙ සුව දුක් විමසිමට ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා මඩකලපුව මහ රෝහලට ගොස් ඇතැයි සාක්ෂි ලබාදෙමින් හිටපු ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා කියා සිටි‌යේ ය. රිල්වාන් නමැත්තා පසුව සයින්දමර්දුහිදි සිදුවූ පිපිරීමෙන් ජිවිතක්ෂයට පත් විය. 2015 වසරෙ පැවති මහ මැතිවරණයේදී සහරාන් හෂීම් ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයට සහය පළ කළ බවත් , තමුන් එම කාල සීමාවෙදි එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය පළ කළ බවත් හිස්බුල්ලා මහතා සඳහන් කළේ ය.