ග්‍රෙග් බාර්ක්ලේ ICC සභාපති ධූරයට

ග්‍රෙග් බාර්ක්ලේ ICC සභාපති ධූරයට

by Staff writer 25-11-2020 | 12:07 PM
COLOMBO (News 1st) : ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස නවසීලන්තයේ ග්‍රෙග් බාර්ක්ලේ මහතා තේරී පත්ව තිබේ. ඕක්ලන්ඩ්හි වාණිජ නීතිඥයෙකු වන ග්‍රෙග් බාර්ක්ලේ මහතා 2012 වසරේ සිට නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ය. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරන්නෙකි. එම තනතුරට පත්වීමත් සමග ඔහු නවසිලන්ත ක්‍රිකට් ආයතන අධක්ෂ ධුරයෙන් ඉවත් විය. 2015 වසරේ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අධ්‍යක්ෂවරයකු වූ ග්‍රෙග් බාර්ක්ලේ මහතා නවසීලන්ත උතුරු දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේ ය. ඔහු නවසීලන්ත හා ඕස්ට්‍රේලියානු සමාගම් කිහිපයක අධ්‍යක්ෂ තනතුරු ද හොබවයි. නව පත්වීම පිළිබඳව අදහස් දක්වමින් බාර්ක්ලේ මහතා සඳහන් කළේ එය තමන්ට ගෞරවයක් වන අතර සෙසු අධක්ෂෙවරුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවයි. ක්‍රීඩාවට නායකත්වය දීමට හා ගෝලීය වසංගතයෙන් මුදාගෙන ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් කටයුතු කිරීමට සූදානම් බව ද ඔහු පවසයි. බාර්ක්ලේ මහතා සඳහන් කර ඇත්තේ වෙළෙඳපොළ තුළ ක්‍රීඩාව ශක්තිමත් කිරීම සඳහා ද තම සාමාජිකයින් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි. ලෝකයේ වැඩි පිරිසකට ක්‍රිකට් ක්‍රීඩාවට එක්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට මෙන්ම තමාට පැවරුණු බැරෑරුම් වගකීම නිසි පරිදි ඉටු කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සාමාජිකයන් 104 දෙනා වෙනුවෙන් කටයුතු කිරීමට සුදානම් බව ද බාර්ක්ලේ මහතා පවසා තිබේ. ඔහු වැඩිදුරටත් පවසන්නේ, ක්‍රීඩාවේ දුෂ්කර කාල පරිච්ඡේදයකදී ICC සභාපති ලෙස කටයුතු කළ ඉම්රාන් කවාජාගේ නායකත්වයට ස්තුතිවන්ත වන අතරම, අනාගතයේදී ඔහු සමග සමීප සම්බන්ධතා පවත්වා ගැනීමට අපේක්ෂා කරන බවයි.