නාකොටික් නිලධාරීන් 13 දෙනා තවදුරටත් රිමාන්ඩ්

නාකොටික් නිලධාරීන් 13 දෙනා තවදුරටත් රිමාන්ඩ්

by Staff writer 24-11-2020 | 5:57 PM

COLOMBO (News 1st) - අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා ලබන 7 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් මහතා අද නියෝග කර තිබේ.

ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම හා සන්තකයේ තබා ගැනීම ඇතුළු මත්ද්‍රව්‍ය පනතේ චෝදනා යටතේ නඩු පැවරීමට නීතිමය හැකියාවක් නොමැති බවට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය ප්‍රතික්ෂේප කරමිනි. ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන් ඇප මත මුදාහැරීමේ බලය මහේස්ත්‍රාත් අධිකරණයට ඇති බව පෙන්වා දෙමින් සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පිළිබඳව නියෝගය නිකුත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විරෝධතාවය එලෙස ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ය. සැකකාර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය හා ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට රැගෙන එන ලද මත්ද්‍රව්‍ය තොග පිටින් නිල හා පෞද්ගලික වාහන උපයෝගී කර ගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රවහනය කරන ජාවාරම්කරුවන්ට ලබා දී රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇති බව ඔවුන් සමග සේවය කළ නිලධාරීන්ම ලබාදුන් ප්‍රකාශ අනුව පෙනී යන්නේ යැයි පෙන්වා දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ කරුණු දැක්වීම සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ ය.