ගම්මැද්දෙන් සොයාගත් විජයරාජ් LPL තරගාවලියට

ගම්මැද්දෙන් සොයාගත් 'කිලිනොච්චි එක්ස්ප්‍රස්' LPL තරගාවලියට

by Staff writer 24-11-2020 | 10:01 PM

COLOMBO (News 1st) - මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට එක්වීමට, නිව්ස්ෆස්ට් ගම්මැද්ද ඔස්සේ හඳුනාගත් 'කිලිනොච්චි එක්ස්ප්‍රස්' නමින් හඳුන්වන සෙබස්තියන් පිල්ලේ විජයරාජ්ට අවස්ථාව හිමිව තිබේ.

තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, වනිදු හසරංග, මිනෝද් භානුක වැනි ක්‍රීඩකයින් ඇතුළත් ය. පකිස්ථාන කණ්ඩායමේ ශොහීබ් මලීක්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායාමේ ජොන්සන් චාල්ස්, දකුණු අප්‍රිකාවේ ඩුවේන් ඔලිවර් වැනි ප්‍රබල ක්‍රීඩකයින් ද මෙම කණ්ඩායමට එක්ව සිටි. සෙබස්තියන් පිල්ලේ විජයරාජ්, ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ එක් වන්නේ පුහුණුවීම්වලදී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙනි. සෙබස්තියන් පිල්ලේ විජයරාජ්. සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවට යොමුව සිටි ඔහුව 2016 වසරේදී අප ගම්මැද්ද කණ්ඩායමේ නෙත ගැටුනේ කිලිනොච්චියේදීය. ක්‍රිකට් ක්‍රීඩාවට උපන් හපන්කම් දැක්වූ ඔහු ජාතික මෙන්ම ජාත්‍යන්තරය නියෝජනය කිරීමේ සිහිනය වෙනුවෙන් මග පෙන්වීමට අපට හැකි විය. බී.ආර්.සී ක්‍රීඩා සමාජය ඇතුළු පළමු පෙළ තරගකරුවන් රැසක් සමග දක්ෂතා වැඩි දියුණු කර ගැනීමට විජයරාජ්ට අවස්ථාව උදා විය. ඔහු ටැමිල් යුනියන් කණ්ඩායම සමග එක්වීමට අවස්ථාව උදා කර ගත්තේ ඉන් පසුවයි. ඒ අනුව ඔහු සනත් ජයසූරිය, අනූෂ සමරනායක, නුවන් සොයිසා වැනි පුහුණුකරුවන් යටතේ ගුරුහරුකම් ලබා ගත්තේ ය. මේ අතර තේවේන්දිරම් දිනෝෂන්, කනකරත්නම් කපිල්රාජ්, යියකාන්ත් වියස්කාන්ත් වැනි නවකයින්ටද ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට එක්වීමේ අවස්ථාව හිමිව තිබේ.